ජලය ජීවයයි. ඒ සඳහා කිසිදු විකල්පයක් නැත.

ආදි මුතුන් මිත්තෝ ලොව මවිත කළ ජල සම්පාදනයෙහි කෙළ පැමිණියෝ වූහ. අහසින් වැටෙන එකඳු ජල බිදුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොහැරීමට ඔවුහු වගබලා ගත්හ. ඔවූහු ජල මූලාශ්‍ර, ජල පෝෂක දේවත්වයෙන් ආරක්ෂා කොට කළමණාකරණයෙන් මතු පරපුරට දායාද කළහ.

වත්මන ගෝලීයකරණය හා සීඝ්‍ර නාගරීකරණය හමුවේ ජල සම්පත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම ප්‍රබල අභියෝගයක් වී ඇත. ලෝකය අද පානීය ජල අර්බුදයක එළිපත්තේ සිටී. ජල පෝෂක, ජල දහරා සුරක්ෂිතභාවය හා විසල් පිරිවැයකින් නිෂ්පාදිත පානීය ජලය සුරැකීම සිදු නොවුණහොත් මතු ලෝක යුද්ධය ජලය උදෙසා වනු ඇත.

එබැවින් කඩිනම්ව නූතන දැනුම හා තාක්ෂණය භාවිත කොට මනා දැක්මකින් කටයුතු කරමින් මතු පරපුර වෙනුවෙන් ජල සුරක්ෂිතභාවය ඇති කිරීමේ අභියෝගය අප හමුවේ ඇත.

මා ජල සම්පාදන අමාත්‍යවරයාව සිටියදී නගරයේ සිට ඈත දුෂ්කර ගම්මාන දක්වා දියත්කළ විසල්, මධ්‍යම හා කුඩා පරිමාණ ජල ව්‍යාපෘතීන්ට අමතරව ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති එක්කොට ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව ස්ථාපිත කළේ ’මෙය මගේය. අපේය’ යන හැගුමෙන් ප්‍රජා දායකත්වය මූලික වූ ප්‍රජාජල ව්‍යාපෘතින්හී ආදර්ශය හා අඛණ්ඩ සාර්ථකත්වය උදෙසාය.

ප්‍රසස්ත සංවර්ධනාත්මක වැඩපිළිවෙළක් තුළ කටයුතු කරමින් අපේක්ෂිත ඉදිරි ඉලක්ක ජය ගැනීමට ජල සම්පාදන අමාත්‍යාංශය, ජාතික ජල ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සක්‍රියව සිටීම ඉතා වැදගත් කොට සලකමි.

ජාතික ජල ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙවර ලෝක ජල දින තේමාව වූ ’සාමය උදෙසා ජලය’ තුළ නවමු සංකල්පයන් මත සක්‍රීයව සිටීම ඉතා වැදගත් වනු ඇත.

දිනේෂ් ගුණවර්ධන(පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 මාර්තු 22 දින