ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගනිමු
ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය බවත්, පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඩෙංගු මර්ධන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්‍ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අමතමින් අද (16) කොට්ටාව ප්‍රදේශය දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.
මේ වන විට ඩෙංගු අවදානම අප රටේ වැඩි වෙමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය අධි අවධානමක පවතිනවා. මහරගම නගරය ඒ අතරින් විශේෂ බව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා.
විශේෂයෙන් පාසල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල ඇතුළු පොදු ස්ථානවල මෙම අවදානම පවතින බව හදුනාගෙන තිබෙනවා. රජයක් වශයෙන් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ විශේෂ මැදිහත් වීමක් සිදුකර ජනතාවට පවතින ඩෙංගු අවධානම අවම කිරීමයි මෙහි අරමුණ.
මේ සතිය පමණක් නෙමෙයි මේ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී සියලු දෙනා එක්රැස්ව අධිෂ්ඨානශීලීව කටයුතු කළයුතු වෙනවා.
පසුගිය වසර එකහමාරක කාලය තුල මතුවූ අභියෝග සාර්ථකව ජයගත් ලෙසම මෙහිදී ද සාමූහික ප්රයත්නයක් දරමින් මෙම අභියෝගය ජය ගත යුතුයි. ඩෙංගු මර්දන ක්‍රියාවලිය ස්වකීය වගකීමක් ලෙස සලකා ප්‍රථමයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානමෙන් අඩු අවදානමක් සහිත ප්‍රදේශයක් බවට පත්කර ක්‍රමිකව තුරන් කිරීමට ක්‍රියා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළ හා ඒ අවට ස්ථාන නිරීක්ෂණය කිරීමට ද කටයුතු කළාය.
මෙහිදී අදහස් දැක් වු මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා
මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දක්වන මහරගම නගර සභාව, කොට්ටාව පොලිසිය සහ ආරක්ෂක හමුදා කණ්ඩායම්, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය සහ කොට්ටාව වෙළෙඳ සංගමය ඇතුළු ආයතන වෙත සිය ස්තුතිය පුද කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම ප්‍රදේශයේ සභාවේ සභාපති සමන් සමරකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





