අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ජුලි 29 දින බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ සභාපතිත්වය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් දරන අතර උපසභාපතිත්වය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් දරනු ලබයි.

අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතික, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව සහ පරිසරය යන විෂයයන්ට අදාළ යුනෙස්කෝ සංවිධානයේ නිර්ණායකයන්ට අනුව දේශීය සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ එක්ව කටයුතු කිරීම මෙම සභාව පිහිටුවීමේ අරමුණයි.

මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ආචාර්ය ආශා දිවොස්, චන්ද්‍රා වික්‍රමසිංහ, ආචාර්ය වී.වී මැදවත්තේගෙදර සහ සාමිනාදන් විමල් යන විෂය ප්‍රවීණයින් ඇතුළු ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, නියෝජ්‍ය ලේකම් නාලක රත්නායක යන මහත්වරුන් සහ හේමන්තා පුබුදුසිරි, ශෂිකලා ප්‍රේමවර්ධන, සමන්ති සේනානායක,අප්සරා කල්දේරා, මොහොමඩ් නවාසි, ආර්.ඒ.ඩී.එස් රණතුංග, ඩබ්.ජී කුමාරගම, සුජීවා පල්ලියගුරුගේ, දීපා ලියනගේ, එච්.ඒ.එච් පෙරේරා, එස්.එස්.පී ද අල්විස්, වරුණ ශ්‍රී ධනපාල, ඩබ්.ඩබ්.එම්.පී.එස්.සී පාලම්කුඹුර, එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ, ආචාර්ය නිලාන් කුරේ, සනුජා කස්තුරිආරච්චි, යන මහත්ම මහත්මීන් පත්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්

නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ජුලි 28දින අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු වු අතර ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් තානාපතිනිය මෙහිදි පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, අභියෝග ජය ගැනීම සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිවංකා අතුරලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපේ සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවෙයි, ඔවුන් අපේ රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන්. ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද අන්තර්ගත වෙලා තියෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සූපවේදීන් සූප කලාකරුවන් පමණක් නොවන බවත්, ඔවුන් අප රටේ උරුමය ලොවට කියන තානාපතිවරුන් ද වන බවත්, ඔවුන් පිළිගන්වනු ලබන සෑම ආහාර නිමැවුමකම අපේම කුළු බඩුවල රස ගුණ වගේම අපටම ආවේනික ආගන්තුක සත්කාරය පිළිබඳ දායාදයන් ද ගැබි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ජූලි 27 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවති "BOCUSE D’OR SRI LANKA 2025" සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය:

මෙම අවස්ථාව සූපවේදය පිළිබඳ පමණක් නොවෙයි . ඊට එහා ගිය විශිෂ්ටත්වය, උරුමය හා අනන්‍යතාවය පිළිබඳ අවධානය යොමු වන අවස්ථාවක්.

ශ්‍රී ලංකාව වැනි රටකට, මෙවැනි ගෝලීය සහභාගීත්වයක් කියන්නේ සූපවේදීත්වයේ කීර්තියට එහා ගිය දෙයක්. එය අපව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමක් වගේම නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ සංස්කෘතිය විදහා දැක්වෙන සංවාදයක්. 2011 දී අපි මුලින්ම අපේ සූපවේදී තානාපතිවරුන් ගෝලීය වේදිකාවට හඳුන්වා දුන් දා සිට, අපේ ගමන් මඟ කැපවීමෙන් පැහැදිලි දැක්මකින් සහ අපේ විභවය පිළිබඳ නොසැලෙන විශ්වාසයකින් සලකුණු වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාව මේ වේදිකාවට පිවිසීම අහඹු සිදුවීමක් නෙවෙයි. එය අපේ ආගන්තුක සත්කාරය, මෙන්ම අපේ සූපවේදී අධ්‍යාපනයේ සහ අපේ අභිලාෂයේ ප්‍රගතිය පිළිබිඹු කරන අවස්ථාවක්.

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ සංචාරක කර්මාන්තය කියන්නේ ආර්ථික ආයෝජනයක් විතරක් නෙවෙයි, අපි කවුද කියලා ලෝකයට කියන්න ලැබෙන අවස්ථාවක්. සුඛෝපභෝගී හෝටලයක හෝ සාමාන්‍ය කෑම කඩයක පිළිගන්වන සෑම භෝජන අත්දැකීමක්ම අපේ අනන්‍යතාවය පිළිබිඹු කරනවා. ඒ වගේම අපේ ගෝලීය කීර්තිය වැඩි කරනවා. ඒ වගේම මිනිසුන් හා සංස්කෘතීන් අතර සම්බන්ධතා ගොඩනඟනවා.

ශ්‍රී ලංකාවට Bocuse D’ or කියන්නේ අපි කොච්චර දුරක් ඇවිත්ද කියලා පෙන්නන, පෙරටත් වඩා විශාල අභිලාෂයන් කරා අපව ගෙන යන මඟ පෙන්වීමක්. අපේ සහභාගීත්වය ප්‍රමිතීන් ඉහළ නංවලා ගෝලීය අභිලාෂයන් දිරිමත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ නව පරම්පරාවක් පෝෂණය කරලා තියෙනවා.

සාම්ප්‍රදායිකව පිරිමින්ගේ ආධිපත්‍යය තිබූ ක්ෂේත්‍රයක් වන සූපවේදය අද වනවිට කාන්තා සූපවේදීන් රැසක් දැකීමට ලැබීම පිළිබඳ මම ඇත්තෙන්ම සතුටු වෙනවා.

මෙම උත්සවයේදී සිනමන් ලයිෆ් හෝටලය සඳහා රන් සම්මානය පිරිනැමුණු අතර, ෂැංග්‍රිලා හෝටලය රිදී පදක්කම ද ෂෙරටන් හෝටලය ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් විය.

සූපවේදීන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවේ. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"කෝට්ටේ රාජධානිය සංචාරක මුලපිරීම දියත් කිරීම" LAUNCH OF THE KINGDOM OF KOTTE TOURISM INITIATIVE" හා "කෝට්ටේ හරිත සංචාරක ජාලය" "Kotte Green Tourism" මැයෙන් ජූලි මස 27 බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත් වූ කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත එළිදැක්වීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

තවදුරටත් සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය,

"මේක ශ්‍රී ලංකාවට අලුත් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන, වැදගත් මුලපිරීමක්. මේ ව්‍යාපෘතිය සංචාරක මාවතකට වඩා වැඩි යමක්, මේක ඉතිහාසය, සොබාදහම සහ උරුමය ඔස්සේ යන ගමනක්. ශ්‍රී ලංකාවේ පරිපාලන හදවත හැටියට පමණක් නෙවෙයි, කැපී පෙනෙන ඓතිහාසික ගැඹුරක්, සංස්කෘතික පොහොසත්කමක් සහ පාරිසරික වටිනාකමක් ඇති ස්ථානයක් හැටියට අපගේ අගනුවර නැවත රටට ලෝකයට හඳුන්වා දෙන්න ලැබෙන අවස්ථාවක්.

මෙයින් මිනිසුන්ට හොඳ සංස්කෘතික ජීවිතයක් වගේම මෙම නගරයට ලබා දිය හැකි අනෙකුත් සියලු දේ අත්විඳිය හැකි නගරයක් බවට පත් කරන්න අවස්ථාව ලැබේවි. ඒ වගේම නාගරික තෙත්බිමක් විදිහටත්, මේක සුවිශේෂී තෙත්බිමක්. මේ තරම් පාරිසරික විවිධත්වයක් තියෙන අගනගර මුළු ලෝකයටම වුණත් තියෙන්නේ කිහිපයක් කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසාම එය අපට ප්‍රවර්ධනය කළ හැකි එකකි.

ඔබ සියලු දෙනා දන්නා පරිදි, 14 වන ශතවර්ෂයේදී බලකොටු සහිත අගනුවරක් ලෙස පිහිටුවන ලද කෝට්ටේ, චීන, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආදී විදේශීය බලපෑම් රැල්ලකට මුහුණ දුන් ඓතිහාසික නගරයක්. ශ්‍රී ලංකාව ස්වෛරී ජාතියක් ලෙස එක්සත් කර පාලනය කළ, පරාක්‍රමබාහු රජුගේ වාසස්ථානය වුණේ මේ කෝට්ටේ නගරයයි.

සිංහල සාහිත්‍යයේ හා ගෘහනිර්මාණ ශිල්පයේ ස්වර්ණමය යුගය සනිටුහන් වෙන්නෙත් මේ නගරයේ බව අපි දන්නවා. අදටත් මෙම පොහොසත් ඉතිහාසයේ නටබුන් ඉතිරිව තිබෙනවා. පැරණි ප්‍රාකාර, දිය අගල්, ආගමික ස්ථාන සහ ස්මාරක, අභිමානවත් හා ශක්තිමත් රාජධානියක කතාව නිහඬව පවසනවා කියලයි මට හිතෙන්නෙ.යැයි කෝට්ටේ නගරයේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන්නාය.

අතීතය සහ වර්ථමානය එකට යා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

එහෙත්, කෝට්ටේ අතීතයට පමණක් අයත් දෙයක් නොවේ. එය විචිත්‍රවත් තෙත්බිම්, විවිධ පක්ෂි ජීවිතය සහ ලෝකයේ ඉතාම සීමිත අගනගර කිහිපයකට හිමි විය හැකි දුර්ලභ පාරිසරික සමතුලිතතාවයක් ඇති නගරයක්. ලෝකයේ ප්‍රථම තෙත්බිම් අගනුවර ලෙස, කෝට්ටේ නාගරික ජීවිතය හා ජෛව විවිධත්වය සමගාමීව පැවතිය හැකි ආකාරය පිළිබඳ ජීවමාන උදාහරණයක්, කල්පනාකාරී සැලසුම්කරණයෙන් හා පරිසරය කෙරෙහි ගැඹුරු ගෞරවයකින් මඟ පෙන්වනු ලැබුවහොත්, කෝට්ටේ රාජධානියේ සංචාරක මාවත ඉතිහාසය, සංස්කෘතිය, සොබාදහම යන මෙම අද්විතීය මානයන් එක් අත්දැකීමක් බවට පත් කරන, අපට තියෙන ඉතා හොඳ අවස්ථාවක්.

එය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ජාත්‍යන්තර අමුත්තන්ටද දිගු කලක් තිස්සේ සැඟවී තිබූ කෝට්ටේ රාජධානිය ගැන ගවේෂණය කරන ස්ථානයක් විදිහටත් සංචාරක කර්මාන්තයේ අවධානය යොමු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින්න කැමැතියි., මන්ද බොහෝ දෙනෙක් නොදන්නා හෝ තේරුම් නොගන්නා කෝට්ටේ බොහෝ දේ තිබෙනවා. තෙත්බිම් වලින් ආරම්භ වී, ඓතිහාසික අංගයන් දක්වා කෝට්ටේ බොහෝ දේ සැඟවී තිබෙනවා.. කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් මෙහෙයවනු ලබන, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සහ ආණ්ඩුකාර ගරු හනිෆ් යූසුෆ් මහතාගේ සහය ඇතිව, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ දැක්මෙන් ආභාෂය ලැබූ මෙම මුලපිරීම, ප්‍රජා මූලික හා තිරසාර සංවර්ධනය සඳහා වන හොඳ කැපවීමක් වගේම ප්‍රාදේශීය නායකත්වය, පුරවැසියන් සහ ජාතික උරුමය පොදු අරමුණක් සමඟ එකතු වුණ අවස්ථාවක්. සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, මෙම ව්‍යාපෘතියේ සංවිධායකයින්ට සහ හවුල්කරුවන්ට මගේ ප්‍රශංසාව පිරිනමනවා.

ඔබගේ මේ කාර්යය අපගේ අගනුවර දෙස නැවත හැරී බලන්න, සිතා බලන්න උපකාරී වනවා වගේම, එය පරිපාලන පාලන නගරයක් ලෙස පමණක් නොව, ජීවමාන කෞතුකාගාරයක් සහ විවෘත පන්ති කාමරයක් ලෙස, එහි සෑම වීදි කොනකම, තෙත්බිමකම සහ සිද්ධස්ථානයකම කතාවක් සැඟවී තිබෙනවා කියලයි මට හිතෙන්නෙ. මෙම නව ගමන ආරම්භ කරන විට, කෝට්ටේ සංචාරක ව්‍යාපාරය දෙස් විදෙස් අමුත්තන් සඳහා පමණක් නොව, මෙම නගරය නිවහන කරගත් ප්‍රජාවන් සඳහාද ගොඩනගා ඇති බවට අපි සහතික වෙමු. අප සැමට අයත් උරුමය සමරමු, ආරක්ෂා කරමු, අනාගත පරම්පරාවලට ඉතා පරිස්සමින් බාර දෙමු යැයි අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාත්, සංචාරක සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාත් කියා සිටියේ ජාතික ජනබලවේගය රජයක් පිහිටුවීමටත් පෙර සිටම කතා කළ, වැඩ කළ, සහ සැලසුම් කළ මෙම වැඩසටහන දැන් යථාර්ථයක් බවට පත් කරගැනීමට හැකි වී ඇති බවත්, ඒ වගේම එය තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ද වන බවය.

උත්සව සභාව ඇමතූ කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු මහතා සඳහන් කළේ ලෝකයේ බොහෝ අගනගරවල පවතින එම රට හා අගනගරය පිළිබද විස්තර වන කෞතුකාගාරයක්, පුස්තකාලයක් වැනි අංග කෝට්ටේ නගරයේ ද ඇතිකිරීමට රජය මුල් වී කටයුතු කළ යුතුව ඇති බවත්, එම අවශ්‍යතා ඉටුකරගැනීමට ලබා දිය හැකි සෑම ආකරයකම සහයෝගය ලබා දෙන්නටත් ඒ වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමටත් කෝට්ටේ නගරසභාව සැමවිටම සූදානම් බවයි.

කෝට්ටේ හරිත සංචාරක ජාලය විසින් සංවිධානය කළ මෙම උත්සව අවස්ථාවට බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සංචාරක සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , කෝට්ටේ නගරාධිපති අරෝෂ අතපත්තු, උත්සවයේ සංවිධායක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ දෙස් විදෙස් නියෝජිතයන් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නෙ අලුත් පෙළපොතක් හඳුන්වාදීමක් නෙවෙයි සමස්ත පද්ධතියම වෙනස් කිරීමක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඒ වෙනස් කිරීම පිළිබඳ නිවැරැදි සංවාද සමාජය තුළ ඇති කළ යුතුයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොතක් හඳුනවාදීමක් නොවන බවත් සමස්ත පද්ධතියම වෙනස් කිරීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ජුලි 26 වැනි දා "පොහොසත් රටක් වෙනුවෙන් ගැහැනු අපි එකමිටට " යන තේමාවෙන් සංවිධානය කරන ලද ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා එකමුතුව විසින් රත්නපුර නගර ශාලාවේදී පැවති සංවාදශීලී කථිකාව හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහි දී සභාව අමතමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙලෙස අදහස් දැක්වීය.

"දරුවන්ට බරක් නොවන, දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන එක අපි අපේ දේශපාලන ව්‍යාපාරය තුළ දිගින් දිගට කතාකරපු දෙයක්. ඒ ගැන අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සවිස්තරාත්මක ප්‍රකාශ කරලා තියෙනවා.

මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නෙ අලුත් පෙළපොතක් විතරක් හඳුන්වාදීමක් නොවෙයි, පද්ධතියම වෙනස් කරන වැඩක්. අපි මේ පද්ධතිය තුළ දකින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා, මේ විභාහ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට එන පීඩනය, ඒ නිසා දෙමව්පියන්ට ඇතිවන පීඩනය සහ ඒ පීඩනය නිසා ඇතිවී තිබෙන තරගකාරීත්වය හරහා ගොඩනැගුණු නරක සමාජීය ප්‍රතිඵල වැනි කාරණා සියල්ලක් අපි මේ.ප්‍රතිසංස්කරණ තුළ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලවල පැවති ආණ්ඩු කෙතරම් අධ්‍යාපනය ගැන කතාකරත්,අධ්‍යාපනයේ පවතින ගැටලු හඳුනාගත්තත් ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය නිසා ඇතිවුණ අධ්‍යාපන ගැටලු ගණනාවක් තියෙනවා. බොහෝ විට අධ්‍යාපනය ඔවුන්ගේ පටු දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්න පාවිච්චි වී තියෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජාතික පාසලක් කියලා පාසලේ නාමපුවරුව විතරක් වෙනස් වුණ පාසල් කීයක් තියෙනවද ? තමන්ගෙ නමින් ගොඩනැගිල්ලක් විවෘත කරන එක වගේ තමන්ගෙ බලය පාවිච්චි කරලා ළමයින්ගෙ අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය මොනවා වුණත් මතුපිට තමන්ගෙ ප්‍රදර්ශනකාමී දේශපාලනය වෙනුවෙන් ඔවුන් අධ්‍යාපනය පාවිච්චි කරලා විශාල හානියක් සිදුකළා.

පසුගිය රජයන් අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කළ මුදල ක්‍රමානුකූලව අඩුකර අධ්‍යාපනයේ බර ක්‍රමානුකූලව දෙමව්පියන් මත පැටෙව්වා. ඒ වගේම අධ්‍යාපනයේ තීරණාත්මක සාධකය වන ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ සිටිය යුතු අයගෙ වෘත්තීය භාවය දියුණු කරලා ඒ සඳහා මානව සම්පත දියුණු කරනවා වෙනුවට ඒ මානව සම්පතට හානිදායක දේවල් දියුණු කළා. "

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පසුගිය රජයන් සාකච්ඡා කොට තිබුණ නමුත් ඒ සම්බන්ධව සාකච්ඡා වන අතර මේ පද්ධතිය පවත්වාගෙන යෑමට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම්, ප්‍රතිපාදන වෙන්කිරීම සිදුවී නැති බවත් එලෙස නොවී මේ ප්‍රතිසංස්කරණයන්හි වෙනස තීරණාත්මක වෙනසකට ලක් නොවන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කරන් ලදී. .

අපි ඉතාම සැලසුම් සහගතව මේ සමාජය තුළ සංවාදයක් ඇතිකරමින් , පද්ධතිය සූදානම් කරමින් සමාජයේ වෙනස් විය යුතු ආකල්ප ආදී සියල්ලමත් මේ සංවාදය වෙත ඈඳා ගනිමින් ඇත්ත සමාජ වෙනසකට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉතින් ඒ සංවාදය සමාජය තුළ පුළුල්ව ඇති කිරීමේ වගකීම ඔබ සතුයි.

ඉතින් අධ්‍යාපනිකව දියුණු රටක් බවට අපේ රට පත්කරන්නට ඒ දියුණු රට තුළ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකරන්නට, ලෝකයත් එක්ක ගැටෙන්න පුලුවන් ආර්ථිකව දියුණු රටක් ගොඩනගන්න ගෙන යන සංවාදයේ පණිවිඩකරුවන් බවට පත්වන්න ඔබට ආරාධනා කරනවා යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රත්නපුර නගර ශාලාවේදී ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් සාමාජිකාවන් අමතා ප්‍රකාශ කරන ලදී.

මෙම සංවාදශීලී කථිකාව සඳහා ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලූෂා ලක්මාලි මහත්මිය, රත්නපුර නගරයේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොළ මහත්වරුන් ඇතුලුව ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නගර සභා හා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීනියන් ඇතුළුව ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

භූතානය, කසකස්තානය, ජෝර්දානය, උස්බෙකිස්තානය සහ එරිත්‍රියාව යන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක්

ශ්‍රී ලංකාවේ භූතාන තානාපති Dasho Karma Hamu Dorjee (ඩකා), කසකස්තාන් ජනරජයේ තානාපති, Sergey Viktorov (කොළඹ), ජෝර්දානයේ තානාපති Yousef Mustafa Abdelghani (නවදිල්ලිය), ශ්‍රී ලංකාවේ එරිත්‍රියා ප්‍රාන්තයේ තානාපති, Alem Woldemariam (නව දිල්ලිය), සහ ශ්‍රී ලංකාවේ උස්බෙකිස්තාන් තානාපති Alisher Tukhtaev (ඉස්ලාමාබාද්) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ජූලි 25 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය මෙහිදී පිළිබිඹු කෙරිණි.

අග්‍රාමාත්‍යවරිය විසින් සියලු තානාපතිවරුන් පිළිගත් අතර රටවල් අතර පවතින අන්‍යෝන්‍ය අවශ්‍යතා, පාලනය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සඳහා සහය දැක්වීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

රෙදිපිළි නිෂ්පාදනය, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව, අපනයන, සෞඛ්‍ය සේවා සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ රුවිනි මුණදාස මහත්මිය සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය