අග්‍රාමාත්‍ය කාර්යාලය (සිරිමතීපාය)

අග්‍රාමාත්‍ය කාර්යාලය (සිරිමතීපාය)
අංක: 58, සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07.

විසිවන සියවසේ මුල් අවධියේ මෙරට විසූ ධනවත් ව්‍යවසායකයෙකු වූ ඇල්බර්ට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් වසර 1916 දී සිය එකම පුතු වූ ඇල්බර්ට් අර්නස්ට් ද සිල්වා වෙනුවෙන් මෙම මන්දිරය ඉදිකරවනු ලැබ ඇත.

ඇල්බර්ට් එම්මානුවෙල් ද සිල්වා මහතා මෙම මන්දිරය ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට 1914 අගෝස්තු 18 වන දින කොළඹ මහ නගර සභාව වෙත සිය අයදුම්පත යොමු කර ඇති අතර ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් පසු කොළඹ නගරාධිපති රොබට් ලෙවිස් වොලර් බයර්ඩු (Robert Levis Woller Byrde) මහතා විසින් මෙම නිවස භාවිත කිරීම සඳහා අනුකූලතා සහතිකය 1916 ඔක්තෝබර් 20 වන දින නිකුත් කර ඇත. ‘සිරිමතීපාය’ ලෙස නම් කර ඇති මෙම මන්දිරයෙහි මුල් වරිපනම් අංකය 9C ලෙස සඳහන් ව ඇති අතර වර්තමානයෙහි කොළඹ 07, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ, අංක 58 දරන වරිපනම් අංකය ලබා දී ඇත.

1960 වසරේ දී අර්නස්ට් ද සිල්වා මැතිනිය විසින් මෙම මන්දිරය ලක් රජයට පවරා ඇත. මුල් ගොඩනැගිල්ලෙහි වර්ග ප්‍රමාණය වර්ග අඩි 19,669කි. තෙමහල් මන්දිරයක් වූ ‘සිරිමතීපාය’ එවක යුරෝපයේ ප්‍රචලිතව පැවති ගෘහ නිර්මාණාංග මෙන්ම දේශීය-විදේශීය දැව කැටයම් නිර්මාණවලින් ද සුපෝෂිත ය. නිවෙස මෙන් ම තුරුලතාදියෙන් ගැවසීගත් ඉදිරිපස උද්‍යානය ද එවක ප්‍රභූ නිවාසවලට අනන්‍ය වූ සමමිතික සැලසුමකින් නිර්මාණය කර ඇත.

සියුම් වූ විශිෂ්ට ලී කැටයම්වලින් අලංකාර කරන ලද දොරවල්, උස් හා පළල් ආරුක්කු, විශාල සාලය සහ විසිත්ත කාමර, සතරැස් කුලුනු මත ලීස්තර යනාදී වාස්තු විද්‍යාත්මක අංග රාශියක් මන්දිරයේ මහේශාක්‍ය බව ඔපවත් කිරීම සඳහා ඉවහල් වී ඇත. සිවිලිම ලී කැටයම්වලින් අලංකෘත අතර සිවිලිමේ බාල්ක පුළුල් පරතරයකින් යුක්ත වේ. ආලින්දය, සාලය සහ විසිත්ත කාමරයේ බිම ආනයනය කරන ලද සෙරමික් ටයිල් අතුරා ඇත. අතිවිශිෂ්ට ලී කැටයම්වලින් ඔප දැමූ දැවවලින් නිමවා ඇති පඩිපෙළ ඉතා අලංකාර ලෙස සකසා ඇත. ගොඩනැගිල්ලේ බොහෝ දැව නිර්මාණ සඳහා මියන්මාරයෙන් ආනයනය කරන ලද බුරුම තේක්ක භාවිත කර ඇත.

සිරිමතීපාය පිළිබඳ වාර්තාව

සිරිමතීපාය අරලියගහ මන්දිරය නුවරඑළිය මන්දිරවල සමරු මුද්දර

ලීයෙන් තැනූ තටුවලින් සමන්විත අලංකාර සිවිලිම් විදුලි පංකා සහ පඩිපෙළට ඉහළින් එල්ලා තිබෙන ලීයෙන් තැනූ පහන, ‘සිරිමතීපාය’ අලංකාර කර ඇත. ‘සිරිමතීපාය’ ඉහළ මාලයේ අලංකාර ලී කැටයම් පුවරු සහිත විශාල කාමරයක් වන අතර එම කාමරයේ බිත්තිවල ඇති ලී පුවරුවලට ඉහළින් ඇති අවකාශය මේ වන විට 1980 දශකයේ සිතුවම්වලින් සරසා ඇත. මන්දිරයේ තුන්වන මහලට ළඟා වීම සඳහා දෙවන මහලේ දෙපසින් කුඩා පඩිපෙළවල් යොදා ඇත. බිම් මහලේ කොටසක බිම ලීවලින් නිමවා ඇති අතර එම කොටසේ පොළව මට්ටමට පහළින් වූ සාපේක්ෂව කුඩා මහල ගබඩාවක් ලෙස මෙන්ම ඉහළ යන තෙතමනය වැළැක්වීම සඳහා ද භාවිත කර ඇතැයි අනුමාන කළ හැක.

1961 මැයි මස 29 දින අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය සිරිමතීපායෙහි පිහිටුවා ඇත. එවක පටන් 1977 වර්ෂය දක්වා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ම නිවහන වූ යේ ‘සිරිමතීපාය’ යි. 1977 වසරේ දී පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් වූ ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා සිය අමාත්‍යාංශ කාර්යාලය වශයෙන් භාවිත කළේ ද ‘සිරිමතීපාය’ යි.

1978 වසරේ දී ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව එතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය වශයෙන් ප්‍රථමවරට ‘සිරිමතීපාය’ පරිශ්‍රය භාවිත කරන ලදි. 1961 වර්ෂයේ සිට මේ දක්වා ම රජයේ කාර්යාල පරිශ්‍රයන් සඳහා ඉඩපහසුකම් සපයා ඇති ‘සිරිමතීපාය’ 1978 පෙබරවාරි මස සිට මෙරට බිහිවූ විවිධ අග්‍රාමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලය ලෙස භාවිත කර ඇත.

අතිවිශාල පෞරාණික වටිනාකමක් සහිත ‘සිරිමතීපාය’ මන්දිරය ශ්‍රී ලංකා රජය විසින් දශක හයකට ආසන්න කාලයක් තිස්සේ බාහිරව හා අභ්‍යන්තරව අවම වශයෙන් කරන ලද වෙනස්කම් සහිතව වර්තමානයේ ද භාවිත කරයි.