අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

සියලු පාසල් ආවරණය වන පරිදි සම්පත් බෙදීයාම සහතික කරන්න ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වාදිය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හදුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත් කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පරිවර්තනය (6-13 ශ්‍රේණි) සඳහා වන කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ජුනි 20 වන දින පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ජාතික සහ පළාත් පාසල් දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතුයි.

ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස හය තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා.

මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණු අතර ආබාධිත ප්‍රජාව සහ සියලු පාසල් සඳහා සමාන ලෙස පහසුකම් බෙදා හැරීම සහතික කිරීමත් ඇතුලත් වෙනවා. ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අපිට අවශ්‍යයි යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසීය.

කාර්ය සාධක බළකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි මෙහිදී ප්‍රදානය කළ අතර සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පත්කර තිබේ.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, නලින් හේවගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙ⁣නෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් සහ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පැවසීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදෝනෝ ( Takafumi kadono) මහතා ඇතුළු නියෝජිතයින් අතර අද (20) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර සහ ලබන වසරේ දී පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි ඇති අභියෝග පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කළේය.

නව විෂය මාලා සකස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ අගමැතිනිය මෙහිදී පැහැදිලි කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සිය සතුට පළ කළ අතර ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය ඇතුළු අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සිය සහය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

එසේම දැනට ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය පහසුකම් ලබාදීම අඛන්ඩව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව නියෝජිතයින් මෙහිදී පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක Marc - Andre Franche ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රි ලංකාවේ සාමය පවත්වා ගැනීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ආරක්ෂා කිරීම, සෞඛ්‍ය, පාලනය සහ මුළ්‍යකරණය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා බලගැන්වීම, අධ්‍යාපනය, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම, දේශගුණික විපර්යාස, කෘෂිකර්ම, ධීවර යන අංශ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ලබා දී ඇති ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ළමාහිංසනය පිළිබඳ කමිටු වාර්තාවට අදාල ව රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහය ලබා දීමට සුදානම් බවද මෙහිදී UNICEF නියෝජිතයින් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්සත්ජාතීන්ගේ ළමා අරමු⁣දලේ නියෝජිත Andreas Karpati, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතීන්ගේ 2025 වසරේ මානව සංවර්ධන වාර්තාව අගමැතිනියට පිළිගන්වයි...

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව ජුනි 19 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්විණි

"AI (Artificial Intelligence) යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සෙ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර කිබේ.

රටක් සංවර්ධනය කිරීමට, එරට ආර්ථිකය සහ සමාජය හැඩගැස්වීම වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බළ මුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණයි.

මෙම මානව සංවර්ධන වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP ) ශ්‍රී ලංකා නියෝජිත අසූසා කුබෝටා ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා උපායමාර්ගික සම්බන්ධතා සහ නවෝත්පාදන කණ්ඩායමේ ප්‍රතිපත්ති විශේෂඥ ෆාදීල් බාකීර් යන මහත්ම මහත්මීන් ද එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩනගන්න මහාසංඝරත්නයේ සහය දෙන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩනගන්න මහා සංඝරත්නයේ සහය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පිරිවෙන් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන පද්ධතියේ පුර්නජිවනය උදෙසා පූර්වගාමී වූ පූජ්‍ය වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දින සැමරුමට සමගාමී ව අද (19) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික පිරිවෙන් දින උත්සවය 2025 අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

උත්සවය අමතමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මානුෂිය ආචාර ධර්ම වලින් හෙබී පරිසර හිතකාමී සංවේදී මානව පරපුරක අවශ්‍යතාව, අප රටෙහි පමණක් නොව ගෝලීය වශයෙන් ම පවතින කාලීන අවශ්‍යතාවක්, ඊට හේතුව මානුෂීය ගුණධර්මවලින් ක්‍රමයෙන් දුරස් වෙමින් වාණිජ අරමුණු ඉටුකර ගැනීම සඳහා ආයාසකර යාන්ත්‍රික අරගලයක මිනිස් ප්‍රජාව නිරත ව සිටියදී ලොව පුරා විවිධ යුද ගැටුම්, වසංගත, සාගත වැනි ව්‍යසන මෙන් ම දේශගුණික විපර්යාසයන් පවා සමස්ත ජෛව පැවැත්මට ම අහිතකර අන්දමින් හිස ඔසවා තිබීමයි.

එම අයහපත් සමාජ පරිසර රටාව අවබෝධයෙන් ජය ගැනීම උදෙසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ කඩයිමක් සනිටුහන් කරමින් විප්ලවීය අධ්‍යාපන පරිවතන ක්‍රියාදාමයකට රජය ප්‍රවිෂ්ට වී සිටිනවා.

ඒ අනුව මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති පිරිවෙන් අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධන අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි රජයේ මූලික අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා දැනුම, කුසලතා හා ආකල්ප යන අංශ ත්‍රිත්වයෙහි ම සමබර වර්ධනයකින් ශිෂ්‍ය භික්ෂු දිවි පෙවෙත අර්ථාන්විත ව පරිපූර්ණ කරගැනීමට මහෝපකාරී වන ’ත්‍රිපිටක ධර්ම නිපුණතා පරීක්ෂණය’ වැනි අධ්‍යාපනික ක්‍රියාකාරකම් අභිනවයෙන් හඳුන්වා දී තිබෙනවා වගේම ඉදිරියේ දී ද අවශ්‍ය වෙනත් මානව හා භෞතික පහසුකම් පිරිවෙන් සඳහා ලබාදෙන බවත් මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා යනුවෙන් අග්‍රාමාත්‍යතමිය පුවසුවා ය.

සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා ගෞරවණීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහත් පරිශ්‍රමයකින් පිරිවෙන් කරවන ගුරු කෘත්‍යධිකාරි ස්වාමීන් වහන්සේලා, පරිවේනාධිපති ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහ සහයෝගය රජය අපේක්ෂා කරනවා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගු කාලීන ව හරයාත්මක ව පෝෂණය කිරීම සම්බන්ධයෙන් සම්භාව්‍ය ඓතිහාසික උරුමයක් සහිත පිරිවෙන් අධ්‍යාපනයට අපගේ කෘතවේදී ගෞරව ප්‍රණාමය පුද කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා,

පිරිවෙන් අධ්‍යාපනය ප්‍රමුඛ මෙරට, බෞද්ධාගමික හා අධ්‍යාපනික මෙන්ම සාමාජීය සුබසිද්ධියට අනගි මෙහෙවරක් ඉටු කළ පුජ්‍යපාද අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සිරි සරණංකර සඟරජ හිමියන්ගේ ජන්ම දින ගුණානුස්මරණයට සමගාමී ව ජුනි 19 වන දිනට යෙදී ඇති ජාතික පිරිවෙන් දින සැමරුම අවස්ථාව සඳහා සහභාගිවීමට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ ස්වාමින්වහන්සේලා සහ ගිහි පාර්ශ්වය වෙත උපහාර පිදීම සහ 2024 වර්ෂයේ පිරිවෙන් අධ්‍යාපනයේ සමස්ත ලංකා පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ඇගයීම හා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණ.

රාමඥ්ඥ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමළ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහාසංඝරත්නය, දිවයින පුරා පිහිටි සියලුම පිරිවෙන්, සීලමාතා අධ්‍යාපන ආයතනයන්හි කෘත්‍යාධිකාරී, පරිවේණාධිපතීන් වහන්සේලා, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’ආර්ථික පරිවර්තනය සඳහා නවෝත්පාදනය’

අද (ජුනි 19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ’ආර්ථික පරිවර්තනය සඳහා වූ නවෝත්පාදන’ මැයෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සංවිධානය කරන ලද Serendipity Knowledge වැඩසටහනට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවා ය.

මෙම වැඩසටහන, ජාතික නවෝත්පාදනය ශක්තිමත් කිරීම සඳහා රජය සහ ජාත්‍යන්තර විශේෂඥයින් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් අතර දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සම්බන්ධ ගැටළු පිළිබඳ දැනුම බෙදා ගැනීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි.

සමාරම්භක අවස්ථාව අමතමින් ආර්ථික අර්බුදයෙන් සහ මධ්‍යම ආදායම් උගුලෙන් මිදීම සඳහා නවෝත්පාදනයේ අවශ්‍යතාවය අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව නවෝත්පාදනයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රතිපත්තිමය දිශානතීන් සැකසීමට රජය කැපවී සිටින බව අවධාරණය කළා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් සඳහා ශක්තිමත් පදනමක් තිබුණ ද, සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා හේතුවෙන් ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) රටවල් 113ක් අතුරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති බව සඳහන් කළා ය. තව ද, දශක ගණනාවක් පුරා උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති බවත්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දැනට වැය කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 0.1%ක් පමණක් වන බවත් සඳහන් කළා ය.

එම නිසා, ඉදිරි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා උපායමාර්ගිකව ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ අධ්‍යක්ෂ Takafumi Kadono මහතා, අග්‍රාමාත්‍ය ලේකම්, ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුගමුව, සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් සහ පීඨ සාමාජිකයින් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය