අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඊජිප්තු තානාපති මැගට් මාස්ලේ (Maged Mosleh) අතර හමුවක් 2023.12.01 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

1957 වසරේ කොළඹ දී රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය විවෘත කළ පළමු අරාබි රාජ්‍යය ලෙස ඊජිප්තුවට නිසි ගෞරවය පිළිගන්වමින් දීර්ඝ කාලයක් පුරා පැවැත්වූ ද්විපාර්ශ්වික සබඳතාව සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා ඊජිප්තු දූත පිරිස පිළිගත්තේ ය.

දශක ගණනාවක් පුරා දෙරට අතර බැඳුණු මිත්‍රත්වය ඊජිප්තු තානාපතිවරයා මෙහිදී සිහිපත් කළ අතර ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගයට ස්තුතිය පළ කළේ ය.

ඊජිප්තුවේ තේ වෙළෙඳපොළට නැවත පිවිසීම සහ ඊජිප්තුව හරහා අනෙකුත් අප්‍රිකානු රටවල තේ වෙළෙඳපොළ වර්ධනය කරගැනීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති ආකාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඇඟලුම් වැනි ශ්‍රම මූලික කර්මාන්තවලට වඩා ශ්‍රී ලංකාවේ දැනුම් ආර්ථිකය සඳහා අධිතාක්‍ෂණික නිෂ්පාදනවල වැදගත්කම අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව සහ අරාබි රාජ්‍ය අතර ව්‍යාපාරික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ඊජිප්තුව දැනටමත් අරාබි - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සඳහා ඔවුන්ගේ ඉහළ ප්‍රමුඛතාවය ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක අවස්ථා ඉස්මතු කරමින් ලොවට සුවපහසු සංචාරක ගමනාන්තයක් ලෙස රට යළි සන්නාමගත කිරීම කෙරෙහි තානාපතිවරයා අවධානය යොමු කළේ ය.

ශ්‍රී ලංකාවේ සිසුන්ට අරාබි භාෂා අධ්‍යයනයට පහසුකම් සැලසීම සඳහා වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිටි අරාබි භාෂා ගුරුවරුන් යළි ගෙන්වා ගැනීමට ඊජිප්තුව කැමැත්තෙන් සිටින අතර ඒ සඳහා වන සියලු වියදම් ඊජිප්තු රජය විසින් දරනු ඇත.
අවසාන වශයෙන්, දෙරට අතර සමීප සබඳතාව ජාත්‍යන්තර තලයේ දී දෙරටට ම අමතර වාසියක් එක් කරනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, අග්‍රාමාත්‍ය උපදේශක සුසිරිපාල තෙන්නකෝන් යන අය එක්විය.

අග්‍රාමත්‍ය මාධ්‍ය අංශය