රාජ්‍ය ගෞරව මැද ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගනී...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මැතිඳුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2024.04.20 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිදු කළ ගුණකථනය -

අප ගෞරවයෙන් සිහිපත් කරන ඒ.ටී ආරියරත්න ආචාර්යතුමා ගේ වියෝවය ජාතියටම මහත් වූ හිඩැසක් ඇති කරනවා ඇති. රට පුරා වගේම ජාත්‍යන්තරවද මේ ශෝකය බෙදා ගැනීමට සියලු දෙනා එක්ව සිටිනවා.

ඒ. ටී ආරියරත්න මැතිතුමාට අද රාජ්‍ය ගෞරවය හිමිවන්නේ ද ඔහුගේ ජීවිතයේ සුවිශේෂී බව නිසයි.

ආරියරත්න මැතිතුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වෙන් වුණා. මිනිස් සමාජයේ දුක නැති කරන, දුකෙන් පෙළුණු මිනිසුන්ගේ ජීවිත වලට සතුට ගෙන ඒමට ඔහු ඉටුකළ මෙහෙවර උදාරයි.

රටේ විවිධ ගම්මානවලට ගමන් කරමින් ආචාර්ය ආරියරත්න මැතිතුමා ආදර්ශමත්, සදාකාලිකව සිහිපත් කරන්නට පුළුවන් වැඩ පිළිවෙළකට ඵලදායි නායකත්වය ලබා දී තිබෙනවා.

ආචාර්ය ආරියරත්න මැතිතුමා අද ගෞරවයෙන් සිහිපත් කරනකොට ශ්‍රමදානයට මූලිකත්වය දුන් අර්ථයක්, ක්‍රියාකාරීත්වයක්, ලබා දුන් උදාර පුරුෂයෙක්.

ඒ උදාරත්වය මිනිස් සමාජයක් වෙනස් කළ හැකි මිනිස් ප්‍රාග්ධනයේ අති උතුම් ක්‍රියාකාරිත්වය රටවැසියාට ලබා දුන්නා.

ආරියරත්න මැතිතුමනි, එම වැඩපිළිවෙළේ ශ්‍රමය දානය කිරීමෙන් වෙනස් වූ ජීවිත රට පුරා දස දහස් ගණනින් අපේ සමාජයේ මිනිස් ගුණධර්ම වලට හිමිකම් කියන්නට පටන් ගත්තා. එතෙක් හිමිකම් නැති ජනතාවකට ඒ හිමිකම ලබා දුන්නේ ඔබගේ නායකත්වයයි. ඒ වගේම සර්වෝදය ව්‍යාපාරය. මේ සියලු ධර්මතාවයන් එක්තැන් කරමින් අපේ රටේ ජනතාවට දිළිදුකමින් ගොඩ එන්නට, ඒ වගේම ගුණධර්ම වලින් පිරිච්ච මාර්ගයකට පිවිසෙන්නට දුන් දැවැන්ත සෙවණයි. රට පුරා ආදර්ශමත්ව එම කටයුතුවලට නායකත්වය දුන්නේ ඔබතුමායි.

ඔබතුමා අද අප අතරින් වෙන්ව යන මොහොතේ එසේ අප සිහිපත් කරමින් සර්වෝධය මගින් ඉටුකළ හැකි මහා සමාජ පරිවර්තනය ඔබගේම නායකත්වය නිසා ඉටු වූ බව සඳහන් කරන්නට කැමතියි.

ඒ උත්තම ගෞරවය ඔබතුමාට පුද කරන්නට රජය මේ ශෝක දිනය ප්‍රකාශයට පත් කළෙත් ඒ නිසාමයි.

දේශපාලන පක්ෂ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ ආයතන කිසිවක් නොමැතිව ඔබ අසම සමව ඒ මහා බලවේගයේ නිහඬ නායකත්වය ජනතාවගේ අභිවෘද්ධය පිණිසම මෙහෙය වූවා.

ඒ යෝධ අභියෝගයේ ගමන් කරවන්නට ඔබට උරුම වූ දෙයක් තිබුණෙත් නැති බව සඳහන් කළ යුතුයි.


ආචාර්ය ඒ.ටී ආරියරත්නයන් මේ ව්‍යාපාරයෙන් මහජන විශ්වාසය හා මහජන ලැදියාව මත ඉදිරියට ගෙනයන්නට පුළුවන් මිනිස් ගුණ ධර්මය ප්‍රධානය කළා .

ඒ නිසාම ඒ.ටී ආරියරත්න මැතිතුමා ආදර්ශමත් උත්තම පුරුෂයෙක් හැටියට අප රටවාසීන්ට හඳුන්වා ගෞරවය දක්වන්නට පුළුවන්.

ඒ ආදර්ශමත් ස්වාධීන මිනිස්කමේ ගුණධර්ම වලින් ආරම්භව දියත් කර ඇති ව්‍යාපාරය රටේ සෑම ගමක්ම රට වැසියෙක්ම හා රාජ්‍ය ආයතන සැම සවන් දෙන බලවේගයක් බවට පත්ව තිබෙනවා.

ඔබ අප අතරින් වෙන්ව යන්නේ එවන් අවස්ථාවකයි. ආචාර්ය ආරියරත්න මැතිතුමනි, ඔබෙන් දායාද වූ ජීවිතයට අපි අද ගරු කරමු.

ඒ ගෞරවය අද සිහිපත් කරන්නේ ඒ ආදර්ශය ඉදිරි සමාජයට ගෙන යාම පිණිසමයි.

රජයේ උත්තම ගෞරවය ඔබතුමාට මේ අවස්ථාවේ පුද කිරීමට කැමතියි. ඒ. ටී ආරියරත්න ශූරීන් අපේ රටේ අභිමානවත් යුග පුරුෂයෙක් හැටියට ඔබ ඉටු කළ සේවාව සිහිපත් කරමින්ම ඔබට නිවන් සුව ප්‍රාර්ථනය කරමු.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමි ඇතුළු මහා සඟරුවන, සර්ව ආගමික පූජකතුමන්ලා, අනුශාසනා කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කියවන ලදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන්, පැ ෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, ජාත්‍යන්තර සර්වෝදය වෙනුවෙන් ජෝන් කුන්රෝඩ්, ශ්‍රී ලාංකික සර්වෝදය සාමාජිකයන් වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර එස්.පී. චාල්ස්, නාලන්දා විද්‍යාල ආදි සිසුන් වෙනුවෙන් වත්මන් විදුහල්පති ඉරාන් චම්පික, පවුලේ ඥාතීන් වෙනුවෙන් වෛද්‍ය වින්‍යා ආරියරත්න සභාව ඇමතිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, එරාන් වික්‍රමරත්න, ඒ.එච්.එම්, පවුසි, යදාමිණි ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, දිවයිනේ නන් දෙසින් පැමිණි සර්වෝදය ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය