අපේ ජනතාවගේ වටිනා කැපකිරීම් නැවත නැවතත් ආවර්ජනය නොකළොත්, සටන් ව්‍යාපාර හා උරුමයන් ඉතිහාස පොතෙන් මැකී, පිටු ගැලවී යාවී... - පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා

ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ, පදනම් ආයතනයේ පැවැති ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වැනි ගුණසමරුවට (2024.03.31) එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා

අප රටේ පමණක් නොව මහද්වීප ගණනාවක පොදු මහ ජනතාවගේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප කිරීම් රාශියක් කළ රටේ ජාතික වීරවරයෙක් ලෙස අදටත් ගෞරවයෙන් සිහිපත් කරන පිලිප් ගුණවර්ධන මැතිතුමා උසස් අධ්‍යාපනය ලබන්න මංපෙත් තෝරන අවස්ථාවේදී අනගාරික ධර්මපාලතුමන් පිලිප් ගුණවර්ධන මැතිතුමාණන්ගේ පියාණන්ට උපදෙස් දුන්නේ අධිරාජ්‍යවාදී බැමි ලෙහලා, එය බිඳගෙන ඉදිරියට යාහැකි අනාගත ලංකාවක් බිහි කිරීමේ අත්දැකිම් එක් කර ගත හැකි තැනකට පිලිප් ගුණවර්ධන මහතා යොමු කරන ලෙසයි.

ඒ අනුව පිලිප් ගුණවර්ධන මැතිතුමා විස්කොන්සින් විශ්ව විද්‍යාලයේදී ප්‍රවීන මහාචාර්ය ස්කොට් නියරිංග් සමග එක්ව මෙක්සිකෝවේ දෙවැනි විප්ලවයට සටන්කාමීව සහාය දෙමින් තරුණ වයසේ වයසේදීම අත්දැකීම් ලැබුවා. ඒත් එතුමාගේ විප්ලවීය සටන්වල අවසානයක් තිබුණෙ නැහැ. උතුරු ඇමරිකානු මහද්වීපයේ සටන්වලට එතුමා සහාය දක්වන අවස්ථාවේ එතුමාගේ පිටුපසින් බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ්යාර්ඩ් රහස් ඔත්තු සේවය ලුහුබැන්දා. පිලිප් ගුණවර්ධන මහතා ජිවිතයට සමු දී අවුරුදු 40ට පසුව ඒ වාර්තාව නිදහස් කලා. අධිරාජ්‍යවාදීන් හමුවට ගිහින් ඔවුන්ට අබියෝග කර ආසියාවේ හා අප්‍රිකාවේ අපේ රට වැනි යටත් විජිතයින්ව තිබූ රටවල මිනිසුන්ගේ නිදහස හා අයිතිවාසික්ම් වෙනුවෙනු වු සටන ඉදිරියට ගෙන ගිය ආකාරය ය සම්බන්ධයෙන් වූ තොරතුරු ඒ වාර්තාවේ ඊටත් වඩා ගැබ් වී තිබෙනවා. පිලිප් ගුණවර්ධනයන් නොබියව සටන් වැදුනේ අප වැනි රටවල ජනතාවගේ අවශ්‍යතා ඉස්මතු කරන්න.

ඒ වගේම ස්පාඥ්ඥයේ පළමු විප්ලවීය සටන් පෙරමුණේ ඉදිරියේ සිට පළමු ජනරජ පිහිටුවන අවස්ථාවට එක් වුණූ බව මේ රහස් තොරතුරුවල සටහන්ව තිබෙනවා. ගමේ පන්සලෙන්, බොරළුගොඩ කණිෂ්ට විද්‍යාලයෙන් මව් භාෂවෙන් උගත් පුද්ගලයෙක් වුනත් ස්පාඥ්ඥ, ප්‍රංශ, ඉංග්‍රීසි භාෂා හදාරමින් ඒ භාෂාවන් ඒ සටන් පෙරමුණුවල ජයග්‍රහණයන් වලට සහාය දක්වමින් දැවැන්ත අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත්තා.

අපේ රටේ සූර්ය මල් ව්‍යාපාරය ආරම්භ කොට වමේ නායකයන් සමඟ නිදහස් සටනේ දැවැන්ත ආරම්භය ලබාගන්න කටයුතු කළා. 1936 මැතිවරණයේදී කැලණි මිටියාවතේ එහා කොනේ සිට කොළඹ තොටුපොල දක්වා විහිදුණු අවිස්සාවේල්ල ආසනයට ඉදිරිපත් වෙලා තරුණ මන්ත්‍රීවරයෙක් ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණා.

බ්‍රිතාන්‍යයන් පැමිණියේ මුහුදු කොල්ලකරුවන් ලෙස නිසා මේ රට අයිති කරගෙන පාලනය කරන්න ඔබට කිසිදු අයිතියක් නැහැ. වහාම නැවත යන්නයි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමුව කිව්වේ පිලිප් ගුණවර්ධන මැතිතුමායි. ඒ නිසාම ඔහු අනුගමනය කළ දේශපාන ගමනේදී වරින් වර හරස් වීම් සිදුවුණා. නායකයින් හිරගත කළා. හිරගේ බිදගෙන ගිය ඔවුන් ඉන්දීය අර්ධද්වීපයේ නායකයින් සමග අත්වැල් බැදගෙන ශක්තියක් වුණා. මව්බිමේ අපේ රටේ නිදහස් සටන වගේම කලාපයේ ජනතාවගේ නිදහස වෙනුවෙන් පිලිප් ගුණවර්ධනයන් ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරා. අධිරාජ්‍ය විරෝධී සටනට නායකත්වය දෙමින් අපේ ආසියාතිකරේ රටවල් වල නිදහස වෙනුවෙන් මහා දැවැන්ත සටනක් කළා.

ඒ සිදුවීම් ආවර්ජනය කිරීම මගේ යුතුකමක්. එසේ නොකළොත් අපේ රටේ වටිනා කැපකිරීම්, සටන් ව්‍යාපාර, අපේ ජනතාවගේ උරුමයන් ඉතිහාස පොතෙන් මැකී, පිටු ගැලවී ඉතිහාසයේ වැලිතලයෙන් මැකී යා හැකියි.

නිදහසෙන් පසුව එතුමා ජනසතු ව්‍යාපාරට නායකත්වය දුන්නා. අපේ රටේ පොදු මහජනතාව සමග එක්ව ඔවුන්ගේ මහා නිර්මාණශීලී හැකියාව තුළින් ජාතික ආර්ථිකය නැංවිය හැකි ආකාරයේ ජාතික ව්‍යාපාරයන් ගොඩනගන්න පුළුවන් බව ඔප්පු කිරීමට එතුමාට වුවමනාවක් තිබුණා. බස් ජනසතුව හා වරාය ජන සතුව එහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි. එදා ලෝකයේ 126 වැනි වරාය, ජනසතු ව්‍යාපාරයෙන් වසර 25 කට පසුව ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් 26 වෙනි තැනට පැමිණියා. ජනසතු ව්‍යාපාරය තුළින් ඉස්මතු කරලා පෙන්නුවේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන හයිය. ඒ වගේම තමයි අපේ රටේ කැත්ත උදැල්ල අරගෙන ගෙන්දගම් පොළොව සමග ගැටිලා අස්වැද්දා, ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය බවට පරිවර්තනය කළ රටේ ගොවි ජනතාවට, ගොවිතැන් ඉදිරියට කරගෙන යන්න තිබුණ අයිතිවාසිකම්වල ප්‍රශ්නක් තිබුණා. ඔවුන්ට බැංකු පද්ධතියෙන් කිසිදු සහයෝගයක් තිබුණෙ නැහැ. අපේ රටේ සාමාන්‍ය ගොවි ජනතාවට ණයක් ගන්න යන්න බැංකුවක් තිබුන් නැති කාල පරිච්ඡේදයක් තිබුණා. ඒ කාලේ විශේෂ පිරිස් තෝරාගෙන බැංකු කටයුතු සිදු කලේ. රටේ ජනතාවගේ හද ගැස්ම හඳුනන පළමු ජාතික බැංකුව ඇති කරන පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ පිලිප් ගුණවර්ධන මැතිතුමා. මහජන බැංකු පනත නමින් තිබුණත් පළවෙනි පනත සමූපකාර සංවර්ධන බැංකු පනතයි. මේ බැංකු පනත අපේ රටේ සාමාන්‍ය ජනතාවට, ලෝකයත් සමග ගනුදෙනු කරන්නට, තමන්ගේ වෙළෙඳ ව්‍යාපාර දියුණු කරන්නට, අපේ රටේ මිරිකෙන ආර්ථිකය තුලින් ඒ ජනතාවට ඉස්මතු වෙලා එන්න පුළුවන් වපසරිය නිර්මාණය කරලා තියෙන පනතක්.

සංවර්ධන ඉලක්කයක් කරා ගෙන යන්නට අපි අලුතෙන් හිතන්න ඕනා. නිර්මාණාත්මකව හිතලා අපේ රටේ පොදු මහජනතාව ඒකරාශී කරගෙන යන ගමනට මේ කාරණා දායක කර ගත හැකියි.

මහාචාර්ය රනිල් සේනානායක මහතා

පිලිප් ගුණවර්ධන මැතිතුමා, ජාතියක් ලෙස සමාජය නඟා සිටුවීම සංවර්ධන ඉලක්කය වූ යුගයක බිහි වූ නායකයෙක්. එදා ආර්ථික සංවර්ධනය හෝ අපට උපයා ගත හැකි නැතිනම් ණයට ගත හැකි මුදල් ප්‍රමාණය ආදිය වෙනුවට සමාජ යහපැවැත්මයි අරමුණ වුනේ. පිලිප් ගුණවර්ධන මහතා අපට පෙන්වා දුන්නේ මෙය යි. අඳ ගොවියාට සහනයක් ගෙන දුන් කුඹුරු පනත සඳහා මූලික වූවෙක් ලෙස ද ඔහු සිහිපත් වෙනවා. ඔහු ප්‍රකාශ කළා රට සංවර්ධනය කිරීමට, නිදහස ආරක්ෂා කිරීමට, රටේ ජනතාවට සේවය කිරීමට සූදානම් ඕනෑම පිරිසක් සමඟ වැඩ කරන බව. එය ඕනෑම කණ්ඩායමක් වෙන්න පුළුවන්.

අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් මෙහි මුලසුන දැරූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පවුලේ ඥාතින් වන ප්‍රසන්න ගුණවර්ධන, ලක්මලී ගුණවර්ධන, හිටපු කතානායකවරුන් වන චමල් රාජපක්ෂ, කරු ජයසූරිය, සහ බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, රටවල් රැසක තානාපතිවරුන්, විද්වතුන්, පාක්ෂිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය