රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි… - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.01.12 ) අරලිය ගහ මන්දිරයේදී පැවති පරිපාලන ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රධානෝත්සවය අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ග්‍රාම නිලධාරීන්ට තිබෙන වගකීම් සම්භාරය රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා අමතක කරනවා. රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි දේශපාලනඥයොත් අමතක කරනවා. අප උරුමකම් කියන රට, ඉතිහාසය, දියුණුව ඇති වුණේ වගේම, රට ආරක්ෂා කළේ ගමෙන් පටන් ගත්ත ග්‍රාමීය පාලන තන්ත්‍රයයි.

ඒ කාලෙ අපිට ගුවන් හමුදාවක් නොතිබුණාට අපේ රජවරු අපේ සතර මායිම ආරක්ෂා කරගන්න පුළුවන් ආරක්ෂක ක්‍රමවේද ඇති කළා. ඒ හැමට ශක්තිය වුණේ අපේ ගම්බද නායකයින්.

දියුණුවේ සංවර්ධනයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට ශක්තිය වුණේ ඒ නායකයින්. එවැනි නායකත්වයෙන් ගොඩනැගුණු රට ස්වයංපෝෂිතය කරා ගමන් කළා වගේම ආහාරයෙන්, සංස්කෘතිය අතින් අදත් ලොව මවිත කළ හැකි තත්ත්වයක් ඇති කළා .

ග්‍රාම සේවා කාර්යාලයට ඒ කාලේ තිබුණු පහසුකම් හුඟක් අඩුයි. කලින් ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ක්‍රමානුකූලව ක්‍රමවේදයකට මුළු ග්‍රාම සේවාවම දියුණුවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් සහිත තොරතුරු තාක්ෂණය ඔබට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ මූල්‍ය ප්‍රතිපාදන හා තීරණ ලැබුණම තවත් සේවාවන් ලබාදීමට හා වැඩිදියුණු කර ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළ ස්ථර සමඟ කටයුතු කිරීමේ හැකියාව වැඩි කරනවා.

රාජ්‍ය සේවය රටක කොඳු නාරටියයි. රට ඉදිරි දියුණුවට ගමන් කරවීමේ වගකීම පිළිබඳ ඔබ පරිපාලන ග්‍රාම නිලධාරීන් හැටියට කැපවෙන්න.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා -

බෙදීම් වෙන්වීම් අතහැරලා එකට එකතුවෙලා යන්න කාලය ඇවිල්ලා කියලා මම හිතනවා. රාජ්‍ය සේවයේ සිදුවන සමහර විමර්ෂණ වගේම නීතිමය කටයුතු පිළිබඳ ජනතාව තුළ යම් අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. අද දවසේ අලුතෙන් රාජ්‍ය සේවයට එක් වන ඔබ තමන්ගේ ආයතනයේ සහෝදර නිලධාරීන් සමඟ විශ්වාසය ගොඩනගා ගත යුතුයි.

රාජ්‍ය සේවකයන් වන ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති හරියට හඳුනාගන්න. ඒ දැනුම පහළ නිලධාරීන් සමඟ බෙදාහදා ගන්න. ගමේ පුරවැසියන් සමඟ මේ තොරතුරු බෙදාගන්න කියන්න. ඔබේ වගකීම් ඉටුකරද්දි ඒ කොට්ඨාසය හැම අතින්ම විනය ගරුක වෙනවා. එවැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකතු වුණාම දිස්ත්‍රික් ලෙකම් කාර්යාල විනය ගරුක වෙනවා. එවැනි දිස්ත්‍රික් සහිත පළාත් එකතු වුණාම අපිට විනය ගරුක අභිමානවත් රටක් නිර්මාණය කරන්න පුළුවන්.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි සහ පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය