අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

නිර්ණායක නැතුව උසද,කොටද බලලා අපි රැකියා දෙන්නේ නැහැ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් රජයට තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් රජයට තිබෙන බවත්, පැවති රජයන් මෙන් උසද කොටද යන්න සලකා රැකියා ලබා නොදෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අයවැය විවාදයේ පාර්ලිමේන්තුවේ මතුකරන ලද ප්‍රශ්න සදහා අද (18) පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නිදහස් අධ්‍යාපනය තුළින් ශිෂ්‍යයන් සදහා කරන වියදම් සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සහ ද්විතීයික මට්ටම සදහා වෙන් වෙන්ව දත්ත නැහැ. මේ මට්ටම් දෙකටම පොදුවේ එක් ශිෂ්‍යයෙක් සඳහා 2020 සිට 2025 දක්වා පහත පරිදි වැය කර තිබෙනවා. 2020 වර්ෂයේ 60,136යි. 2021 වර්ෂයේ 63498යි 2022 වර්ෂයේ 75096යි 2023 වර්ෂයේ 87594යි, 2024 වර්ෂය සදහා97784යි. 2025 වර්ෂය සදහා ඇස්තමේන්තු ගත මුදල මිලියන 1යි 15,715ක් ලෙස වෙන් කර තිබෙනවා. තෘතියික මට්ටම සඳහා එක් එක් විෂය ධාරාව අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරන දරුවෙක් වෙනුවෙන් හාරලක්ශ පන්දහස් තුන්සිය දහතුනක් වැය කරනවා. මේ තොරතුරු පුනරාවර්තන වියදම් අනුවයි ඉදිරිපත් කළේ.

නිදහස් අධ්‍යාපනය ලබන එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් වාර්ෂිකව රජය දරන වැය බර පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් අධ්‍යයනයක් මේ වෙනකම් කරලා නැහැ.

විවිධ ⁣විෂයන් යටතේ උපාධිය අවසන් කරලා රැකියා සොයා ගැනීමට ගතවන කාලය පිලිබඳ විශ්වවිද්‍යාල වල යම් යම් අධ්‍යයනයන් සිදු කර තිබෙනවා. නමුත් වාර්ෂිකව සිදු කරන අධ්‍යයන නෙමෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අභ්‍යන්තර, බාහිර සහ දුරස්ථ ලෙස වෙන වෙනම විස්තර ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීමට ඇති ගැටළු පිලිබඳවත් විවිධ අධ්‍යයනයන් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වෙන්නේ උපාධිධාරී විරැකියාව පිළිබඳ එක හේතුවක් කියන්න බැහැ. විවිධ හේතු තියනවා. සාමාන්‍ය අධ්‍යාපනය තුල තිබෙන අවස්ථා මේකට ගොඩාක් බලපානවා. රැකියා ලබා ගැනීමේදී එකිනෙකා සතු සමාජ සම්බන්ධතා අනුවත් රැකියා ලබාගැනීමේ අවස්ථා තීරණය වෙනවා. විශේෂයෙන් පෞද්ගලික ක්ෂේත්‍රයේ. විරැකියාව සංකීර්ණ විෂයක්. ඒ සදහා හේතු ගණනාවක් බලපානවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නවක උපාධිධාරීන් සඳහා වෘත්තීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන කමිටු පවත්වාගෙන යනු ලබනවා. විශ්ව විද්‍යාලවල තිබෙන වෘත්තිය මාර්ගෝපදේශන ඒකකවල අධ්‍යක්ෂක එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. සියලුම විශ්වවිද්‍යාල පුරා, වෘත්තීය මාර්ග උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උපාධි අපේක්ෂකයින් සහ කර්මාන්ත ඉල්ලුම අතර පරතරය පියවීමට රැකියා වෙළඳපොළ පවත්වන අතර පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමට ව්‍යාපාරික සම්බන්ධතා ස්ථාපිත කර තිබෙනවා.

රජයේ පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරීන් තිස්පන් දහසක් බඳවා ගැනීමට කටයුතු කරමින් යනවා. ඒ සදහා අදාල අමාත්‍යංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන දස දහසක් වෙන් කර තිබෙනවා. මේ අතරින් වැඩි පිරිසක් බඳවා ගන්නේ ගුරුවරුන් ලෙසයි. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පවතින නඩුව අවසන් වීමෙන් පසු අදාල තීන්දුව අනුව බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරනවා. අනෙකුත් බඳවා ගැනීම් නියමිත බඳවා ගැනීමේ පටිපාටිය මත සිදුකරනවා.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

"මම මේ ප්‍රශ්නයට මේ වන විටත් පිළිතුරු ලබාදීලා තිබෙනවා. රජයේ ‍ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන ආකාරයට අපි බඳවා ගැනීම සිදු කරනවා. මෙතෙක් පැවති ආණ්ඩු වගේ අපි හිතෙන හිතන විදිහට නිර්ණායකයක් නැතුව උසද කොටද බලලා නෙමෙයි රැකියා ලබා දෙන්නේ. යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා.රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබාදෙන තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති අනුව තමයි රැකියා ලබාදීම සිදුකරන්නේ. විභාග‍, සම්මුඛ පරීක්ෂණ තියලා දැනටමත් අපි නිසි ක්‍රමවේද අනුගමනය කරලා දස දහසකට ආසන්න රැකියා ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තිබෙනවා. ඒ මගින් පුරප්පාඩු හඳුනාගෙන අවශ්‍ය පුරප්පාඩු පුරවන්න කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

’අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු’ යොජනාවලිය අගමැතිනියට පිළිගන්වයි.

රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය විසින් "අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු" යන තේමාවෙන් සම්පාදනය කරන ලද ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කළේය.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවාව සැපයීම, නව ආකල්ප සංවර්ධනය කිරීම, පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂ අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙම යෝජනාවලියට ඇතුලත් කර තිබේ.

රටතුල නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා නිර්මාණය කළ "නව නෙත්" ෆේස් බුක් පිටුව විවෘත කිරීමද මෙහිදී අගමැතිතුමිය විසින් සිදු කළාය.

රජය විසින් රට තුළ සිදුකිරීමට යන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීයවේදීන් ඇතුළු සමස්ත ජනතාවගේ සහය අවශ්‍ය බවත්, එ වෙනුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය ගන්නා මෙම උත්සාහය අගය කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සඳහන් කළාය.

මෙමඅවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමයේ ලේකම් ලාල්කාන්ත, කැදවුම්කරු පාලිත උදයකාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ 02ක් අග්‍රාමාත්‍යතුමියට පිරිනැමේ

නන්දසිරි ජාසෙන්තුලියන මහතා විසින් රචිත "Darkness at Daybreak" ග්‍රන්ථය හා නීතිඥ නිහාල් සෙනෙවිරත්න මහතා විසින් රචිත " Memories of 33 years in Parliament " ග්‍රන්ථය මාර්තු 15 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිරිනැමිණි.

මෙම ග්‍රන්ථ දෙක පාර්ලිමේන්තුව පිළිබඳව රචිත ග්‍රන්ථ දෙකකි. මේ අතරින් නීතිඥ නිහාල් සෙනවිරත්න මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකු ලෙස වසර 17 ක් සේවය කර ඇති අතර වසර 33ක පාර්ලිමේන්තු සේවා කාලය තුළ තමා ලද අත්දැකීම් ඇසුරෙන් "Memories of 33 years in Parliament "ග්‍රන්ථය රචනා කර ඇත.

මෙම අවස්ථාවට ධනුෂ්කි ලියනපටබැඳි මහත්මිය සහභාගී වූවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපනය පහසු කිරීමේ අරමුණින් පාසල් දහසකට සුහුරු පුවරු ලබාදීමේ ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටු වී නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වියදම් කර ඇති බිලියන 1.7 ක ආයෝජනය ඌන උපයෝජනයක්.

අධ්‍යාපනය පහසු කිරීම ඇරමුණින් පාසල් දහසකට සුහුරු පුවරු ලබාදීමේ ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටුවී නොමැති බවත් වියදම් කර ඇති බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

පාසල් පද්ධතිය සඳහා සුහුරු පුවරු (Smart Board) ලබාදීම තුළින් ජාලගත පන්ති කාමර පිහිටුවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් 2025.03.15 දින පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළාය.

"පාසල් පද්ධතිය තුළ පද්ධතියගත සුහුරු පන්ති කාමර ලබාදීම මගින් අධ්‍යාපනය පහසුකරණය කිරීමේ අරමුණින් තෝරාගත් පාසල් 1000 සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිතා කරමින් සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබාදීමට අදාළව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා වන අංක අමප/24/0385/601/ 027 හා 2024 මාර්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය හිමි වී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අංක අමප/24/0978/630/009 හා 2024 මැයි 14 දිනැතිව වැඩිදුරටත් ඉදිරිපත් කර ඇති අතර,එමගින් යෝජනා කර ඇත්තේ චීන රජය විසින් යෝජිත පාසල් ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි. චීන රජයේ එම ව්‍යාපෘතිය මගින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබාදීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මගින් පාසල් 1500ක් සදහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබාදීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමාන වන අයුරින්ම ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගන්නා සුහුරු පුවරුද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් තීරණය වී ඇත.

2024 මැයි14 දිනැති ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු 1000 මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේදී ආරම්භ කර ඇත. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වන විටද චීන රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ පැවති ඇති අතර ඔවුන් විසින් ලබාදීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන් සම්බන්ධයෙන් කිසිදු නිල එකඟතාවයකට එළඹ නොතිබුණු බව නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත් පැහැදිලි නොවුණු මූලාශ්‍ර ඔස්සේ ලබාගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතයන් උපයෝගී කර ගනිමින් විවෘත මිල ගණන් කැඳවීමකින් තොරව එක් සැපයුම්කරුවකු වෙතින් මිල ගණන් ලබාගෙන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අදාළ මිලදී ගැනීම සිදුකර ඇත. ඒ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1.7කි. මීට අමතරව සේවා හා සවිකිරීම් ගාස්තු ලෙස රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 430ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ගිවිසුම් ගතව ඇත.

ඉහත මිලදී ගැනීම මෙවැනි ඉහල අගයකින් යුත් මිලදී ගැනීම් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගවත්ව සිදුකර ඇති බව නිරීක්ෂණය වේ. එනම් 2024 ජූලි 05 වන දින මිල ගණන් කැඳවා එම මිල ගණන් 2024 ජුලි 15 වන දින විවෘත කර 2024 ජුලි 16 දින වන විට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කිරීමද අවසන් කර ඇත. අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත්කළ කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් පත්කළ 2024 ජුලි 17 සහ 18 යන දිනයන් සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී ඇත. ඉහත නිර්දේශයන් 2024 ජුලි 23 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය 2024 ජුලි 30 දින ලැබීමෙන් පසු මිලදී ගැනීමේ ඇණවුම 2024 අගෝස්තු 05 දින සැපයුම්කරු වෙත නිකුත් කර ඇත. ඒ කියන්නේ මුළු ක්‍රියාවලියටම ගිහිල්ල තියෙන්නෙේ මාසයයි.

මෙම මිලදී ගැනීමේදී සුහුරු පුවරු 1000ක් සඳහා CIF අගය වන ඇමෙරිකන් ඩොලර් 3,135,392.50 වටිනාකමක් HUAWEI ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන "Intelligent Express Limited HongKong" වෙත ණයවර ලිපියක් විවෘත කිරීම මගින් ගෙවා ඇති අතර HUAWEI ආයතනයේ චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිෂ්පාදකයා ලෙස අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණද මේ දක්වා එවැනි සැපයුම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගැනීම සම්බන්ධයෙන් චීන රජය සනාථ කර නොමැත.

ඉහත ඇණවූම පරිදි අදාළ සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ 2024 ඔක්තෝබර් මාසයේදී පමණ අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අතර ඒවා දැනට පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබු ඉහත සුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණද චීන රජය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ ව්‍යාපෘතියේ කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර ඒ සඳහා අවසන් එකඟතාවයකට ද එළඹ නොමැත.

චීන රජය විසින් ලබාදීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම සහ මධ්‍යගත පද්ධතිය පිළිබඳ අවසන් එකඟතාවයට එළැඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් සිදුවී ඇත්තේ අපේක්ෂා කළ කාර්යටට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීමයි. දැනටද සාකච්ඡා මට්ටමේ පවතින චීන ආධාර ව්‍යාපෘතිය මේ වසර අවසාන වනතෙක්වත් කාලය ගතවන බව අපේක්ෂා කළ හැකිය.එසේම ඒ සඳහා තෝරා ගනු ලබන සැපයුම්කරු පිළිබඳව කිසිදු තීරණයක් නිල වශයෙන් මෙතෙක් දක්වා නොමැත.

මෙම තත්ත්වය මත දැනට ගබඩාව වී ඇති මෙම සුහුරු පුවරු 1000 සහ අනෙකුත් උපකරණ පාසල් වෙත බෙදා හැරීම් සිදු කරන්නේනම් ඒ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිතව උපදෙස් විදුහල්පතිවරයාට ලබාදිය යුතු අතර, චීන ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවිකිරීම සහ භාවිතා කළයුතු ආකාරය පිළිබඳ නිශ්චිතව උපදෙස් ලබා දීමට නොහැකි වී ඇත.

මෙම අවස්ථාවේදී අදාළ සුහුරු පුවරු ජාලගත කිරීම සිදු කල නොහැකි වන හෙයින් ඒවා භාවිතා කළ හැකි වන්නේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමඟින් මෙම ව්‍යාපෘතිය අරමුණු කිසිසේත් ඉටු නොවන අතර ,මේ දක්වා වියදම් කර ඇති බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැකිය.

මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමවේදය අක්‍රමිකතා සිදුවී ඇත්දැයි යන්න විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැනට චින රජයේ සමගද සාකච්ඡා කරනු ලබන අතර හැකි ඉක්මනින් චීන රජය වෙතින් යෝජිත පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ." යැයි පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික සංවර්ධනය සඳහා කාන්තාවන් සිදුකරන වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ආර්ථිකය තුළ කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරනු ලබන බාධක බිඳ දැමීමට අපගේ රජය කැපවී සිටිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා කාන්තාවන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. නමුත්, ඔවුන්ගේ අතිමහත් දායකත්වය හමුවේ වුව ද, ව්‍යුහාත්මක වශයෙන් පවතින බාධක නිසා ආර්ථිකය තුළ ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරලා තිබෙනවා. ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් ලෙස කාන්තාවන්ට ඉදිරියට යා හැකි ආර්ථිකයක් නිර්මාණය කරමින් මෙම බාධක බිඳ දැමීමට අපගේ රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මාර්තු 14 වන දින කොළඹ ගෝල් ‍ෆේස් හෝටලයේ දී පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) එක්ව සංවිධානය කරන ලද එක්සත් රාජධානියේ She Trades Commonwealth+ අරමුදල මඟින් දියත් කරනු ලබන She Trades Sri Lanka Hub අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

ජාතික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ වැදගත් කාර්යභාරය හඳුනා ගනිමින් ආර්ථිකයට කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරන බාධක බිඳ දැමීමට රජය කැපවී සිටිනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම් සහ ගෝලීය වෙළඳපොලට ප්‍රවේශය විවෘත කිරීම මඟින් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ICT, කෘෂි ව්‍යාපාර සහ ඉංජිනේරු අංශ සඳහා මෙහි දී රජයේ දායකත්වය මූලික වශයෙන් ලබා දීලා තියෙනවා.

ව්‍යවසායක කාන්තාවන් සඳහා සුදුසු පරිසරයක් ගොඩනගමින්, කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය සීමා කරන ළමාරක්ෂක, වැඩිහිටි සත්කාර සහ ආබාධිත සේවා වැනි අංශ ශක්තිමත් කර කාන්තාවන්ට සහනයක් ලබා දීමට අප රජය කටයුතු කරනවා.

කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යවසායකත්ව දැනුම, අන්තර්ජාල පුහුණුව හා ජාත්‍යන්තර වෙළඳපොල අවස්ථා ලබා දීම සඳහා කටයුතු සලසා තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, තිරසාර වෙළෙඳපොලක් නිර්මාණය කිරීම ප්‍රධාන උපාය මාර්ග වෙනවා.

අවශ්‍ය නිපුණතා, මූල්‍ය සම්පත් සහ ඩිජිටල් වෙළඳ ප්‍රවේශය තුළින් කාන්තාවන් සන්නද්ධ කිරීම තුළින් පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කිරීම සහ තිරසාර සංවර්ධනය හරහා කාන්තාවන් ආර්ථික සංවර්ධනයේ පුරෝගාමීන් බවට පත් කිරීමට රජය කටයුතු කරනවා.

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පැමෙලි කෝක්-හැමිල්ටන් මහත්මිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් හා කාන්තා ව්‍යවසායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආර්ථික ප්‍රමුඛතා සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යතුමිය සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන (ITC) විධායක අධ්‍යක්ෂක අතර හමුවක්

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) විධායක අධ්‍යක්ෂ පැමෙලා රෝස්මේරි කෝක්-හැමිල්ටන් මහත්මිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් මාර්තු 12 වන දින පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙම හමුවේ දී දෙපාර්ශවය ඩිජිටල් පරිවර්තන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ඇතුළු ප්‍රධාන ආර්ථික ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක නිරත වූ අතර ඩිජිටල්කරණය, වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ ආයතනික රාමු හරහා ආර්ථිකය ප්‍රවර්ධනයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) පුළුල් ආර්ථිකයට ඒකාබද්ධ කිරීම, ආර්ථිකයට තරුණ ප්‍රජාවගේ සහ කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් ඇති කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙහිදී සංචාරක, අපනයන, බලශක්ති, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) වැනි ප්‍රධාන අංශ හඳුනා ගනිමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ කැප වී සිටින බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

කාබනික නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව මෙහි දී හඳුනා ගන්නා ලදි.

ජුලි මාසයේ පැවැත්වීමට නියමිත ගෝලීය සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වීමත් සමඟ සහයෝගීතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට මෙම හමුව අවස්ථාව සලසා ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය