විශ්‍රාමික ගිණුමේ ණය ගෙවා ගිණුම ස්වාධීන කරන්නට භාණ්ඩාගාරයට ඉඩ දී තිබෙනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අපි අතීතය පසුකර හමාරයි. අපට ඇත්තේ වර්තමානයෙන් අනාගතයට පිවිසීමයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (2024.01.01) කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආගමික වතාවත් මැද නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීමද සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

‟ජාතියේ මහා ගොඩනැගීම ඇති කිරීමට අපි අධිෂ්ඨානයෙන් කොටස්කාරයෝ වෙමු. අපි අතීතය පසුකර හමාරයි. අපට ඇත්තේ වර්තමානයෙන් අනාගතයට පිවිසීමයි. රාජ්‍ය සේවකයින්ට යළිත් සිහිපත් කරන්නේ කුමන ප්‍රවෘත්ති පැතිර ගියත් දහස් ගණනින් ලක්ෂ ගණනින් රාජ්‍ය සේවකයෝ ගෙදර යැව්වේ නැහැ. කිසිම රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට ඔවුන්ට හිමි විශ්‍රාමය අහිමි කරලා නැහැ. විශ්‍රාමික ගිණුමේ ණය ගෙවා හැර එම ගිණුම ස්වාධීන කරන්නට භාණ්ඩාගාරය අවස්ථාව සලසා තිබෙනවා.

අපට තිබුණු අමාරුම කාල පරිච්ඡේදයන්වලදී ජාත්‍යන්තර මිත්‍රයන් අපට සහය වුණා. කොවිඩ් වසංගතය, ඉන්පසු අපේ ආර්ථිකය වැටුණු දරුණුම ප්‍රපාතයෙන් ගොඩ එන්නට ජාත්‍යන්තර මිත්‍රයන් අපට උදව් කළා. ඔවුන්ගේ ඒ විශ්වාසය පදනම් කරගෙන ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යවරයා හැටියට මමත්, අමාත්‍ය මණ්ඩලය ප්‍රධාන පාර්ලිමේන්තුවත් ඒ අභියෝගය ජයගැනීම සඳහා වූ ක්‍රියා මාර්ගයේ රාජ්‍ය සේවයත්, විවිධ ක්ෂේත්‍රවල නිරත අපේ ජනතාව මත තබන ලද විශ්වාසය සාර්ථක වී තිබෙනවා.

අහරින් ස්වයංපෝෂිත විය හැකි මාතෘ භූමියක් බිහි කරන්නට අපේ රටේ ගොවි ජනතාවට පුළුවන්කමට පැමිණ තිබෙනවා. අනෙක් ක්ෂේත්‍රවලද අප කෙරෙහි තබන ලද විශ්වාසය මත අපට තිබුණු මූල්‍යමය අර්බුද, ආර්ථික තහංචි ඉවත් කරගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයා ඇතුළු ඔබ සැම දක්වන ලද සහයෝගය, උනන්දුව, කැපවීම නව වසරේදී වඩාත් හොඳින් ඉටු කරන්නට හැකි වෙතැයි යළිත් අවධාරණය කරනවා.

සෞභාග්‍යමත්, සශ්‍රීකවත් රටක් ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දී ඇති ප්‍රතිඥාවට අනුව දරිද්‍රතාවයෙන් තොර දියුණුව කරා පා නගන රටක් ගොඩනැගීමේ අභිලාෂයට අපි කැපවී සිටිනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය හැටියට සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

රාජකාරී කර්තව්‍ය ඉටු කිරීමේදී ඔබ සැම පසු කළ වසරට වඩා ධෛර්යමත්ව දැවැන්ත අලුත් විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නට පුළුවන් වූ නව වසරකට අපි පිවිසෙන්නේ. මිනිස් ජීවිතයේ බොහෝ දෑ ඉක්මනින් අපට අමතක වී යනවා. අමාරුකම්, දුෂ්කරතාවයන්, කටුක තත්ත්වයන් මඟ හරිමින් වඩා අපේ ජීවිතය පහසු කර ගැනීමේ ඕනෑකම වෙනුවෙන් අප කවුරුත් වැඩ කරමු. රාජකාරියෙත්, පොදුවේ මුළු සමාජයත් එසේ දකින අනාගතය ඉෂ්ට කළ හැකි මාවත යළි ශක්තිමත් කිරීමට ඇති කළ විශ්වාසයයි අප අද මේ ඉදිරියට ගෙන යන්නේ.

රජය ලබාදී තිබෙන සහාය හා මග පෙන්වීම මත මාතෘ භූමියේ අනාගතය ගොඩනගන්නට අත්වැල් බැඳගෙන කටයුතු කරමු.″

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය