නත්තල් දින පණිවුඩය

උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් ‌වේ. එම දහම ආදරය, කරුණාව, හා දයාව පිරි දෙනෙතින් යුතුව යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ ගෙන දෙයි.

එය පීඩාවට පත් ජනතාව ඉන් මුදා, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය මත වු කාලීන සැබෑ අවශ්‍යතාවයකි.

මිනිසුන්ට සතුන්ට මෙන්ම පරිසරයට පවා කරුණාව පාමින් බෙදා හදා ගැනීමේ අපූරු පාඩම අවධාරණය කළ ජේසුස් වහන්සේගේ දහම අනුව වෛරය හා කෘරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා භවබෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙවර නත්තල නව ආරම්භයක් කර ගනිමු.

දුප්පත් - පොහොසත්, ස්ත්‍රී - පුරුෂ, කුල -මල, වාද - භේද පසෙකළා සාමය, සමාදානය හා සමානාත්මතාවය යන අපූර්ව පාඩම් මත පිහිටා, අන්‍යයන්ට පිහිට වෙමින්, අර්ථාන්විතව ගත කරන, සිත්සතන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා යි පතමි.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 දෙසැම්බර් මස 25