චීන කථානායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක..

2024.03.26 දින චීනයේ බීජිං අගනුවර මහජන මහා ශාලා පරිශ්‍රයේ (Great Hall of the People) දී චීනයේ මහජන ජාතික සභාවේ සභාපති එනම් එරට කථානායක ගරු සාඕ ලේජී මැතිතුමා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

දෙරට පිළිබඳ ඓතිහාසික සබඳතා මෙන්ම පසුගිය දශක ගණනාව තුළ දෙරට ජනතාව අතර ඇති මිත්‍රත්වය මුල්කරගත් පොදුකාරණා මෙහිදී සාකච්ඡාවට ලක්විය.

විශේෂයෙන්ම මෙම වසර තුළ ලංකාවේ පාසැල් 1000කට සුහුරු පන්ති කාමර (Smart Class Rooms) ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මහජන සභා තුළත් මහජනතාව සමඟ දීර්ඝකාලීන දේශපාලනය තුළත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කථානායක සාඕ ලේජී මහතා ලබා ඇති සුවිශේෂි අත්දැකීම් පිළිබඳවත් කතාබහ කරනු ලැබීය.

දෙරටේ පළාත් පාලන ආයතන ඇතුළු මහජන සභා අතරත්, රාජ්‍ය නිලධාරීන් අතරත්, මහජන ජයග්‍රහණ උදාකිරීම සඳහා සුදුසු දැනුම, පුහුණුව, හා තාක්ෂණික හුවමාරු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය