අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

රාජ්‍ය සේවයේ ගැටලු නිරාකරණය කිරීමට, සුදුසුකම් මත, නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක සිට සිදුවන බවත්, එයට හේතුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම බවත්, ඒ අනුව ගැටලු නිරාකරණය කිරීමට සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රජයේ මුද්‍රණාලය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යතුමිය අද (04) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

ශ්‍රි ලංකා මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන දෙපාර්තමේන්තුගත නිලධාරීයෙක් මේවන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ නොමැති නිසා මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ⁣ ශ්‍රේණියේ සිටින සුදුසුකම් සහ අත්දැකීම් ඇති නිලධාරියෙක් අමාත්‍ය මණ්ඩල අණුමැතිය ඇතිව පත්කිරීමට කටයුතු කර තිබෙනවා. රහස්‍ය සහ ආරක්ෂක මුද්‍රණ ආදියට සම්බන්ධ මාර්ගගතව සිදුකළ කිසිදු කාර්යයක් අඩු කර නැහැ. ඒ කටයුතුවල ගුණාත්මකභාවය, රහස්‍යභාවය සහ කාර්යය පටිපාටි මත කටයුතු කරගෙන යාමට රජය විශේෂයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරනවා. ඒ වගේම පුර්ණකාලීන නිලධාරියෙක් පත්කර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ කඩා වැටීම අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වුණා. ඒකට නිශ්චිත හේතුත් අපි දන්නවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නිවැරදිව සිදු නොවීම තමයි ප්‍රධාන හේතුව, රජයේ මුද්‍රණාලයට පමණක් නෙමෙයි ආයතන ගණනාවකට මේ නිසා ගැටලු මතුවෙලා තිබෙනවා. ඒ ගැටලු නිරාකරණය කිරීමට සුදුසුකම් මත නිවැරදි ක්‍රමවේද අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදු කරමින් තිබෙන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසීය.

මෙවර මහ කන්නයේ වී මිළදී ගැනීම පිළිබඳ මන්ත්‍රිවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා ⁣දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

2025/2026 මහ කන්නයේ වී අස්වැන්න නාඩු 120ත්, සම්බා 130ත්, කීරි සම්බා 140ත් ලෙස මිලදී ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම වී මිළදී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලයේ ගබඩා විවෘතව තිබෙනවා. වී මිළ දී ගැනීමට සහතික මිළක් නියම කරලා, ප්‍රමිතියෙන් යුතු වී අස්වැන්න, වී අළෙවි මණ්ඩලය විසින් මිළදී ගන්නවා. ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා ප්‍රතිසංස්කරණය කරමින්, වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහස දක්වා ධාරිතාව වර්ධනය කරලා ඒ අනුව වී මිළදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදනත් වෙන් කර තිබනවා.

පෙබරවාරි 16 සිට 20 දක්වා ඉන්දියාවේ පැවති 2026 කෘත්‍රිම බුද්ධි සමුළුව සම්බන්ධයෙන් මතු වූ පැනයට අග්‍රාමිත්‍යතුමිය මෙසේ පිළිතුරු ලබා දුන්නාය.

කෘත්‍රීම බුද්ධි අංශයෙන් ගෝලීය දක්ෂිණ අංශයේ පැවත් වූ පළමු සමුළුව. ජනතාව, ලෝක ප්‍රජාව සහ ප්‍රමිතිය යන අංශ යටතේ කෘත්‍රිම බුද්ධි පාලනයේ අනාගතය හැඩගැස්වීම සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් එම සමුළුව පැවත්වුණා. මානව ප්‍රාග්ධනය, සමාජ බලගැන්වීම සඳහා සියල්ලන් ඇතුළත් කිරීම, ආරක්ෂිත සහ විශ්වාසදායී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, විද්‍යාව, ඔ⁣රොත්තු දීමේ හැකියාව, නවොත්පාදන සහ කාර්යක්ෂමතාව,කෘත්‍රිම බුද්ධි සම්පත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම , ආර්ථික සංවර්ධනය සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගැනීම යන ක්ෂෙත්‍ර පිළිබඳව එහිදී සාකච්ඡා කළා. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සමුළුවට සහභාගී වීම තුළින් ද්විපාර්ෂික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වීමත්, වගකිවයුතු සියල්ලන් ඇතුළත් කෘත්‍රිම බුද්ධියක් සඳහා වූ කැපවීම නැවත තහවුරු කිරීමට ශ්‍රි ලංකාවට අවස්ථාව ලැබුණා.

රාජ්‍ය නායක මට්ටමින් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය නිසා ශ්‍රි ලංකාවේ ස්ථාවරය මෙන්ම මේ ක්ෂේත්‍රය කෙරෙහි ඇති උනන්දුව ජාත්‍යන්තරව පෙන්වන අවස්ථාවක් ද වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

මාර්තු 2 වන අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර හමුවක් පැවති අතර එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් විසින් අධ්‍යාපනය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය (HRDEP) පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙම සාකච්ඡාවේදී උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ විෂයමාලාව සැකසීම, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාපන අංශ කළමනාකරණ සැලැස්ම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අධ්‍යාපන අංශය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහාය සහ කුසලතා පරිපූර්ණ මානව සම්පතක අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය එවැනි ක්‍රමවත් පද්ධතියක් සංවර්ධනය කිරීම මඟින් සියලු අංශ ආවරණය වන ලෙස ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දිය හැකි ශක්තිමත් මානව සම්පතක් ගොඩනැගීම රජයේ බලාපොරොත්තුව වන බව සඳහන් කළා ය.

රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සිය සහාය ලබා දීමට කැමති බව ADB නිලධාරීන් මෙහිදී සඳහන් කළහ. මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහාය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් ලබා දීමට ඔවුන්ගේ සූදානම ද තහවුරු කළහ.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්, තාක්ෂණික විශේෂඥයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන ගමනට ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයින්ගේ මඟපෙන්වීම, අනුශාසනා සහ උපකාරය රජයට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජය මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටින බවත්, ඒ නව යුගය වෙනුවෙන් ජනතාව වෙත පුළුල් සමාජීය මෙහෙවරක් සිදු කරන ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයින්ගේ මඟපෙන්වීම, අනුශාසනා සහ උපකාර රජයට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

උව, වෙල්ලස්ස හා නැගෙනහිර තෙපළාතේ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍යපාද ගංගොඩගම විමලරත්න නාහිමියන්ට සංඝනායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය පිරි⁣නැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් මාර්තු 01 දින බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

ඌව අමරපුර මහා නිකායේ අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිගැන්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළ අතර ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විසින් විජිනිපත අභිනව නායක මාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරන ලදී.

මෙහිදී අභිනව සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ නායක හිමියන් වෙත සුභාශිංසන එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මෙසේද පැවසීය.

ඌව පළාත කියන්නේම අපේ රටට ඉතා සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකළ සඟ පරපුරක් බිහි වූ පළාතක්. අපේ නායක ස්වාමීන් වහන්සේ ද ඒ මඟ යමින් උන්වහන්සේගේ 60 වසරකට වැඩි පැවිදි ජීවිතය තුළ ධර්මයෙන් පමණක් නොවෙයි වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුමෙන් ද මේ ප්‍රදේශයට, මේ පළාතේ ජනතාවට විශාල සේවාවක් ඉටු කළා.

උප ගුරුවරයෙක් , පරිවේණාධිපති වහන්සේ නමක් මෙන්ම විදුහල්පතිවරයෙක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන සේවයේ කටයුතු කරමින් උන්වහන්සේගේ දැනුමෙන් අපේ රටේ දරු පරපුර පෝෂණය කරන්නට විශාල දායකත්වයක් දැක්වූ බව අපි දන්නවා.

විශේෂයෙන්ම මේ පළාතේ ඉගෙනීමට අතහිත ලැබිය යුතු සිසු දරුවන්ට 06 ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දීම සහ අනෙකුත් පහසුකම් සැපයීමට මූලිකත්වය ගැනීම, හැකි සෑම විටෙකම පිහිටක් අවැසි ජනතාව වෙනුවෙන් උපකාර කිරීම, ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම වැඩිදියුණු කිරිම වෙනුවෙන් දහම් පාසල් ආරම්භ කිරීම වැනි අපේ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්, මග පෙන්වීමෙන් වගේම උන්වහන්සේගේ කැපවීමෙන් සිදු කරන ලද සමාජ මෙහෙවර ද මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

නව රජයක් ලෙස අපි මේ රට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙන යන්නට විශාල වැඩකොටසක් සිදුකරමින් ඉන්නවා. ඒ නව යුගය තුළ ඔබවහන්සේ මෙන් ජනතාව වෙනුවෙන් පුළුල් සමාජීය මෙහෙවරක යෙදෙන ආගමික නායකයින්ගේ මඟපෙන්වීම සහ උපකාරය රජයට ඉතා වැදගත්.

ඒ වගේම පසුගිය වසරේ ඇතිවූ ’දිත්වා’ සුළි කුණාටුවේ විශාල බලපෑමක් ඌව පළාතට විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවුණා. දැන් අපි ඒ පීඩාවන්ගෙන් ටිකෙන් ටික සුවපත් වෙමින් ශක්තිමත්ව නැගී සිටින කාල වකවානුවක ඉන්නේ.

ඒ ව්‍යසනයෙන් තමන්ගේ සමීපතමයන්ගේ ජීවිත පවා අහිමි කරගනිමින් ඒ සියලු පීඩාවන් දරාගනිමින් නැවතත් අලුතින් ගොඩනැගෙමින් සිටින ඌව වෙල්ලස්ස හා නැගෙනහිර ජනතාවට ශක්තියක් වීමට අභිනව සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ ඔබ වහන්සේට හැකිවන බව මට විශ්වාසයි.

අමරපුර මහා නිකායේ ඌව පාර්ශවයේ අනුනායක බදුල්ල මයිලගස්තැන්න බෝධිරුක්ඛාරාමාධිපති පුජ්‍ය වතුපිටියේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රධාන සංඝ රත්නය,ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර යන මහත්වරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්, බුත්තල ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ප්‍රතිපාදන ලබා දී තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන්න

පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පාළාත් වෙත ලබා දී ඇති බවත්. එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, ඒ අනුව පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ මාර්තු 01 දින පැවති සුහද හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදැකීමට පැමිණි අග්‍රාමාත්‍යතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් තත්ත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු ක⁣ළාය.

වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දෙමින් දිස්ත්‍රීක් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට කටයුතු කරන අතර නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර යන මහත්වරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්, බුත්තල ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශිෂ්‍ය නිදහස සීමා කරන්න කිසිසේත් කටයුතු කරන්නේ නැහැ. ශිෂ්‍ය ක්‍රියාකාරකම් පදනම් කරගෙන සිදුවන හිංසන සහ නවක වදය නතර කරන්න ශිෂ්‍ය සංගම් සහය දෙන්න

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්, ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අදහස් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පෙබරවාරි 27 අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහිදී විශ්වවිද්‍යාල තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳ කරුණු පැහැදිළි කළේය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස කිසිසේත් සීමා කිරීමක් සිදු නොකරන බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ උපකලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් සඳහා සීමා වාසික පුහුණුව ලබා දීමේ ප්‍රමාදයට හේතුව නේවාසික ගැටලුව බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන අතර සීමාවාසික පුහුණුව ලබා දීම තවදුරටත් වැඩි කිරීම සඳහා රෝහල් පහක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

වයඹ, කුරුණැගල, කුලියාපිටිය, සබරගමුව, මොරටුව ඇතුළු විශ්ව විද්‍යාලවල නේවාසික ගැටලු විසඳීම සඳහා නව නේවාසිකාගාර ඉදිකිරීම සඳහා මේවන විට මුදල් වෙන් කර ඇති අතර ඉඩම් පැවරීමේ කටයුතු සිදු කළ වහාම නේවාසිකාගාර ඉදිකිරීම් ආරම්භ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී අවධාරණය කළේය. කුරුණෑගල සහ කුලියාපිටිය පිඨවල පුහුණුව සඳහා යන වෛද්‍ය උපාධිධාරීන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවට විසඳුමක ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරියේදී විසඳුමක ලබාදීම කෙරහිද මෙහිදී අවධානය යොමු කෙරිණ.

වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බවත්, පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවද මෙහිදී අනාවරණය විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු නවෝද්‍ය මාරසිංහ ඇතුළු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමියන්ට උපහාර පිරිනැමේ

​මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්‍රන්ථ විශාරද, කලාභූෂණ, විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සංවිධානය කරන ලද "ගෞරවාභිනන්දන" උපහාර උළෙල 2026 පෙබරවාරි 25 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

​ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය අග්ගමහා පණ්ඩිත නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙල සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.

අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත උපහාර මංජුසාව පිළිගැන්වීම් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී දෙපළගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

​එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවාය,

​“සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කෑලිගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සමාජයීය මෙහෙවර අගය කරනු පිණිස පවත්වනු ලබන මෙම උපහාර උළෙලට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.

​උන්වහන්සේගේ ජීවන තොරතුරු දෙස බලන විට එම අත්දැකීම් අප සැමටම මහත් ආදර්ශයක් සපයනවා. සබරගමුවේ දීප්තිමත් යතිවරයාණන් වහන්සේ නමක වූ පූජ්‍ය කෑල්ලේ ශ්‍රී සරණනන්ද හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ නාහිමියන්, මේ වන විට උපසම්පදාවෙන් වසර 50කට අධික කාලයක් සුවිශේෂී ශාසනික මෙහෙවරක නිරතව සිටිනවා.

​විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා, පිරිවෙන් ගුරුවරයකු සහ පිරිවෙන් පරීක්ෂකවරයකු ලෙස දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත සිසු පරපුරකට නැණ පහන් දැල්වූ උන්වහන්සේ, ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබෙනවා. විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් උන්වහන්සේ කළ සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ අතිශය වටිනාකමකින් යුක්තයි.”

​රත්නපුර මහවල ශ්‍රී ධර්මායතනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික මෙන්ම සමාජයීය තත්ත්වය නගාසිටුවීමට නාහිමියන් කළ කැපවීම මෙහිදී කෘතවේදීව සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, නාහිමිපාණන් වහන්සේට තවදුරටත් ශාසනික මෙහෙවරෙහි නිරත වීමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළාය.

​මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක දර්ශනපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පණ්ඩිත වල්බොඩ ගුණසිරි අනුනායක හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පණ්ඩිත මහවෙල ධම්මක්ඛන්ධ රතනපාලාභිධාන හිමියන්, මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍යාය, රත්නපුර හා ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති බෙත්ගමුවේ ධම්මදින්නාභිධාන නාහිමියන්, ඇතුළු මහා සංඝරත්නය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි, සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න , රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ. විජේතුංග සහ ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් චින්තන උදාර නානායක්කාර, මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ ඉෂාන් මාපිටිගම, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය ​මාධ්‍ය අංශය