අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පුද්ගල අභ්‍යනතරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුල පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ "ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024" අමතමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 05කට වඩා විශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවතින මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද මෙම අවස්ථාවෙදී "INTERNATIONAL FRIENDSHIP AWARD" 11 ක් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි.

බාලදක්ෂ ව්‍යාපාරයට සහය ලබාදෙන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 09 ක් සදහා ස්තූති ඵලක පිරිණැමීමත් ඉහළම සම්මානය වන ’Silver Lion’ සම්මානය අට දෙනෙකු වෙනුවෙන් පිරිණැමීමත් මෙම උත්සවයේ දී සිදු විය.

අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව,ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දේශීය විදේශීය ආරාධිතයන් රැසක් මේ අවස්ථාවට එක් වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් Donold Lu මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

නිපුණ ශ්‍රම බලකාය පෝෂණය කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ආර්ථික අවශ්‍යතා සමඟ පෙළගැස්වීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, විනිවිදභාවය සහ වගවීම සඳහා රජයේ කැපවීම පිළිබඳවද සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ කාර්යභාරය පිළිබඳව ද මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සමානාත්මතාවයේ අන්‍යෝන්‍ය අරමුණු සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම පිළිබඳ මෙහිදී යළි තහවුරු කළහ.

එක්සත් ජනපද නියෝජිත පිරිසට USAID ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් මහත්මිය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් මහත්මියද ඇතුළත් විය. ශ්‍රී ලංකා නියෝජිතයන් අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ද වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

රජයේ අරමුණ පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කිරීමයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ වෛද්‍ය පිඨයේ අද (06) පැවති ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කළ ඩිජිටල් පුස්තකාල සමුළුව 2024 අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවා ය.

පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අප ඉතා වැදගත් ලෙස සලකනවා. අපි විශ්වාස කරනවා, රජයේ සංවර්ධන වැඩපිලිවෙළට පර්යේෂණ සහ සංවර්ධන සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි කියලා. රජයේ අභිප්‍රාය වන්නේ පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාවටම නෙමෙයි නව මාවතකට රට යොමු කිරීමයි. එය පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම් විය යුතුයි.

පසුගිය වසර කිහිපය තුළ අප මුහුණ දුන් විශාල ගැටලුවක් වන්නේ, විශේෂයෙන් ඉහළම මට්ටම්වල තීරණ ගැනීමේ දී, විද්‍යාව මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව, දත්ත මත පදනම්ව තීරණ නොගැනීමයි. මේක වෙනස් වෙන්න ඕන දෙයක්. එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ පර්යේෂණ ප්‍රජාව වඩාත් සමීපව එකට වැඩ කළ යුතුයි.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය පමණක් නොව, අපට විභවයක් සහිත රටක් ලෙස ගත යුතු ඉදිරි පිම්ම වෙනුවෙන්, අපි නවෝත්පාදනය, නව සොයාගැනීම් වගේම නව තාක්ෂණය සඳහා ආයෝජනය කළ යුතුයි.

ඒවගේම රටට ශක්තිමත් පර්යේෂණ හා සංවර්ධන අංශයක් අවශ්‍යයි. මේ වන තෙක් පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ආයෝජනය පැවතුණේ ඉතා පහළ මට්ටමක එය ක්‍රමයෙන් වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිෂ්පාදන, නවෝත්පාදන මෙන්ම සියළු විශේෂයෙන් ප්‍රමාණය, ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මෙම අවස්ථාවට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනේවීර, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජාතික විද්‍යා පුස්තකාල සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී මන්ජුල කරුණාරත්න යන මහත්මමහත්මීන් ඇතුළු පර්යේෂකයින්, පුස්තකාලයාධිපතිවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අගමැතිවරිය හමුවෙයි.

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

මෙම හමුවේදී තානාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ අගය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන නිපුණතාවෙන් සපිරි සහ වෘත්තීමය ශ්‍රී ලාංකිකයන්ගේ සේවය අගය කරන බවද තනාපතිවරයා පැවසීය.

තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අංශයේ අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අගමැති කාර්යාලයෙන් රාජ්‍ය නිලධාරීන්ට "බෝ නොවන රෝග" පෙර හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක්.

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කොට තිබිණි. "නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්" යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහනක් මේ යටතේ සංවිධාන කෙරිණ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (28) දවස පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධානශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණ.

වකුගඩු රුධිර පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, ⁣කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා පරික්ෂාව ඇතුළු බටහිර සහ දේශීය වෛද්‍ය පරික්ෂණ රැසක් මෙහිදී සිදු කර ගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

UNICEF Sri Lanka නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය අගමැතිනිය හමුවෙයි.

UNICEF Sri Lanka ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Hannan Sulieman මහත්මිය ඊයේ (නොවැම්බර් 26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය මීට පෙර හමුවේදී සාකච්ඡා කරන ලද ළමා ආරක්‍ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබඳ යළි අවධාරණය කළාය.

UNICEF දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, UNICEF සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Christian Skoog, කලාපීය මෙහෙයුම් ප්‍රධානී Yuko Kusamichi, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්මමහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය