මහරගම, පමුණුව ව්‍යාපාරික ප්‍රජාව නංවාලීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.18 දින රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අලුත් අවුරුදු සමයේ පමුණුව සහ මහරගම ප්‍රදේශවල සුවිශේෂ වෙළඳාමක් සිදු වූ අතර අති සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නිරත වූ ව්‍යාපාරිකයින් සැමටත් පමුණුව වෙළඳ පොළ හා මහරගම නගරය වෙළෙඳාම් කරගෙන යාම සඳහා විශ්වාසනීය සාමකාමී තත්ත්වය ආරක්‍ෂා කරදීම පිළිබඳ ව පොලිසියට සහ අනෙකුත් පාර්ශවයන්ටත් සියලු ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

වසර පුරා ඇති කරගන්නා වූ අලුත් අධිෂ්ඨානයට අපේ රට ගමන් කරවිය හැකි ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ක්‍රියාදාමය සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයාත් රජයත් සිදුකරගෙන යන නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සැම දෙනාගේ සහය සහ සහභාගිත්වය අවශ්‍යයි. අනුමත කර තිබෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රාශියක් පසුගිය වසරේදී අපිට ලැබුණේ නැහැ. ආර්ථික හා මූල්‍ය අර්බුදය නිසා. නමුත් එයින් හිස ඔසවා ඉදිරියට ගමන් කරන රටක් හැටියට අපේ පළාතේ වගේම ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 320ටම ප්‍රතිපාදන මේ වෙනකොට ලබා දීලා තිබෙනවා.

මේ ප්‍රතිපාදන ග්‍රාම සේවා කොට්ඨාශ දක්වා ගමන්කළ යුතුයි. ඉලක්ක සපුරාලීම සඳහා ඔබ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. එම ඉලක්ක ක්‍රියාත්මක කරන්න පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලිකව පුද්ගලයින් සඳහා නෙවෙයි. ජනතාව සහ ගම් දනව්වල ජනතාව සහ ඔවුන්ගේ දරුවන් සඳහායි මේ මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත්තේ. ඒ නිසා එම ඉලක්කයන් සපුරාලීමට හැකියි. මහරගම නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇතුලු සියලු රාජ්‍ය නිලධාරින් මහරගම දියුණු කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන ලෙස මේ අවස්ථාවේදී ආරාධනය කර සිටිනවා.

හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ,කාන්ති කොඩිකාර, රජයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය