මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (06) පස්වරුවේ මේ බව සඳහන් කළේය.
මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදුකර ගලගෙදර හරහා මාවතගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් දශක කිහිපයක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟයෙන් පීඩා විදි මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි.
මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා දිනකට අවශ්‍ය ඝන මීටර් 500 ක ජල අවශ්‍යතාවය ද මෙමඟින් ආවරණය වේ.
මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3126 කි. මෙය දේශීය බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ‍ජල යෝජනා ක්‍රමයකි. ‍
මාවතගම ජල සම්පාදන ‍ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,
මේ පළාත්වල ජනතාව ජලයේ වටිනාකම ඉතාම හොඳින් දන්නවා. ඒ ගැන අමුතුවෙන් මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යාපෘතිය මීටත් කලින් නිමා කරන්න හැකි වුණා නම් තවත් වටිනවා. ඒ තරමට මේ පළාතේ ජනතාව දශක ගණනාවක පටන් පිරිසිදු පානීය ජලය නැතිව පීඩා වින්ඳා. අද ඒ ගැටලුවට ස්ථිර විසඳුමක් දෙන්න රජයක් විදියට අපට හැකිවෙලා තියෙනවා. අපි දන්නවා ලෝකෙ කොතරම් ජලය තිබුණත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයයි.
ඒ ප්‍රමාණයෙනුත් බීමට ගන්න පුළුවන් වෙන්නෙ තවත් සීමිත ප්‍රමාණයක්. මේ තරම් පානීය ජලය සීමා වුණත් අපට පානීය ජලය ලැබෙන මූලාශ්‍ර ආරක්ෂා කරන්න මිනිස්සු ඉදිරියට නොඑන එක ගැටලුවක්.
එදා ගංගා ඇළ දොල වලින් ලබාගත් පිරිසිදු පානීය ජලය අද ඒ ආකාරයෙන්ම ගන්න විදියක් නැහැ. මිනිස් ක්‍රියාකාරකම්වලින් ඒවා දූෂණය වෙලා. අපි ආරක්ෂා කරගත යුතු තැන් අප විසින්ම විනාශ කිරීමේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ අද ජීවත්වන ජනතාවට වගේම නූපන් පරපුරටයි.

මිත්‍රවරුනි,
මේ ගැන අවධානය යොමු කරලා ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න විශේෂ පියවරක් ගන්න කියලා අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න වේගවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් උපදෙස් දීලා තියෙනවා.

මිත්‍රවරුනි,
ඔබ දන්නවා කුරුණෑගල කියන්නේ ජල මූලාශ්‍ර හිඟ දිස්ත්‍රික්කයක්. මාවතගමට බලපෑවෙත් ඒ ගැටලුව. අපි මේ ගැන සොයා බලලා මහවැලි ගඟෙන් ජලය ලබාගෙන කටුගස්තොට ජල පිරිපහදුවට යොමු කරලා ගලගෙදර හරහා මාවතගමට ගේන්න අපට හැකිවුණා. මාවතගම නගරයෙත් පිලැස්සෙත් තිබෙන මේ ජල කුළුණු දෙකින් බෙදාහරින ජලය ග්‍රාමසේවා වසම් 28කට බෙදාහරිනවා. ඒ නිසා දහස් ගණනක් ජනතාවගේ පානීය ජල ගැටලුව නිමා කරන්න අපට අද හැකිවෙනවා.
හැබැයි මේ කටයුත්ත මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. සැමට පානීය ජලය ලබාදීමේ ඉලක්කයටයි අපි ගමන් කරන්නෙ. මේ ප්‍රතිපත්තිය 2025 දි යථාර්ථයක් වෙනකොට මුළු රටටම නල මඟින් පිරිසිදු පානීය ජලය ලබා දෙන්න අපට හැකියාව ලැබෙනවා.
මේ ව්‍යාපෘතියට කුරුණෑගල, රිදීගම, ඉබ්බාගමුව, ගනේවත්ත, මැල්සිරිපුර, මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණ කරමින් අපි ඉදිරියට ගෙනියන්න කටයුතු කරලා තියනවා.

මිත්‍රවරුනි,
පිරිසිදු පානීය ජලය නොමැති නිසා මේ ප්‍රදේශයේ වගේම තවත් බොහෝ ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වෙලා තියෙනවා. ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් කුරුණෑගලත් ඉන්නවා. එදා අපි විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ ඒ අභියෝගය ජයගන්න. අපි පටන්ගත්ත ඒ ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව එදා ඡන්දෙ බලාගෙන කඩිමුඩියෙ විවෘත කරන්න ගිහින් කරපු වැරැද්දත් ජනතාව වෙනුවෙන් අපිම නිවැරදි කළා.

මිත්‍රවරුනි,
ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවා ද අහනවා. අපි මේ ව්‍යාපෘති කරන්නෙ ඡන්දයක් බලාගෙන නෙමෙයි. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂෙ මොකද්ද කියලා කවුරුහරි ඇහුව ද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නෙ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක්. භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරුයි. ඒ නිසා තමයි අපි සහන දෙන්න යෝජනා කරන්නෙ.
හැබැයි අද විරුද්ධ පක්ෂය ජනතාවට සහන දෙනවට කැමති නැහැ. ඒ අය ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි.

මිත්‍රවරුනි,
මේ අය කතා කරන්නෙ කොවිඩ් ගෙනාවේ අපි වගේ. හැබැයි කොවිඩ්වලින් ජනතාව ආරක්ෂා වුණේ අපි ගත්ත පියවර නිසා කියලා කවුරුත් කතා කරන්නෙ නැහැ.
බඩු මිල වැඩියි කියන එක දැනගත්තම අපි ඒ ගැන ආණ්ඩුවක් විදියට තීරණ ගන්නවා. හැබැයි මුළු ලෝකෙම වෙනස් කරපු කොවිඩ් වසංගතයෙන් සිද්ධ වුණ බලපෑම අපට එක රැයෙන් ඉවත් කරන්න බැහැ.
ජොන්ස්ටන් ඇමතිතුමා කියනවා වගේ රජයක් විදියට අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පෙරොන්දු ඉටු කරන්නයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ සඳහා අභියෝග එන විට ඒ අභියෝගය භාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතිව තමන් ඉන්න තැනම විවේචනය කරන කොට ජනතාව තේරුම් ගන්න ඕනි ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා.
අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා
කටුගස්තොට ඉදන් ගෙන එන විශාල ජලකද රිදීගම වදුරාපිනූ ඇල්ලේ වැවත් සමඟ සම්බන්ධ කරල කුරුණෑගල නගර හා නගරය අවට පරිවාර සියලු භූමි ප්‍රදේශය ජනතාවගේ පිපාසය සංසිදුවනවා. කුරුණෑගලින් උතුරේ වැල්ලව දක්වා මේ ජල සම්පාදනය ජනතාවට ආශිර්වාදයක් වනවා ඇති.
මගෙන් ඇහුවා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්. මේ මාවතගම මල්ලවපිටිය ජල යෝජනා ක්‍රමය ඇයි මේ ප්‍රමාද වෙන්නේ කියල. ඇහුවේ විපක්ෂයෙන්. මම එතුමාට උත්තර දුන්නා ප්‍රමාද වෙන්නේ ඔබතුමන්ලා 2015 ඉදල ප්‍රමාද කරපු නිසයි කියල. අද අපි එය නැවත ආරම්භ කරනවා. මම එතුමාට සහතික වුනා සතියක් ඇතුලත අපි මාවතගම මල්ලවලපිටියට ජලය සපයනවා කියල. අපි කිව්වා වගේම ඇවිල්ලා මේ ජල සම්බන්ධතා දෙන්න පටන්ගත්තා.
අග්‍රාමාත්‍යතුමාගේ නම නොමැකෙනා අකුරින් මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට හේතුවන කාරණා ගණනාවක් තිබෙනවා. ඉතාමත් දුප්පත් පීඩිත ජනයා අතරට ගිහිල්ලා ඔවුන්ගේ දුක සැප විමසා ඔවුන් වෙනුවෙන් මේ රටේ නොයෙක් නීති සම්පාදනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් සෙත සැලසූ, ඒ වගේම මේ රටේ ජාතික උරුමය, ජාතික නිදහස රැකගන්න එතුමා දුන් නායකත්වය, මීට අමතරව මේ රටේ ජාතික හැඟීම් පුබුදුවන්න එතුමා අපිට දුන් නායකත්වය. මේ සියල්ලෙන්ම එතුමාගේ නම රන් අකුරෙන් ලියැවෙන නමක් හැටියට ඉතිහාසයට එකතු වේවි.
මේ අවුරුදු දෙක මේ රටේ ඉතාම දුෂ්කර කාලයක්. මේ වගේ දුෂ්කර කාලයක් මේ රටේ ඉතිහාසයේ නැහැ මතක ඇති කාලෙක තිබිල නැහැ. ඒ නිසා අපට මේ වසරේ අලුත් ගමනක ආරම්භයක් තිබෙන්නේ. අපේ රටේ පොදු ජනතාවට ඇති බලපෑම් හැම එකකම පීඩනය අවම කිරීමට, පීඩනය තුරන් කිරීමට මේ රටේ වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ඔවුන්ගේ බලාපොරොත්තුවන සහනය ඔවුන් බලාපොරොත්තුවන ඔවුන්ගේ ජයග්‍රහණය මේ වසරේ අපිට ලබාදෙන්නට හැකිවේ යැයි විශ්වාස කරනවා. අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපිට තවත් පිම්මක් ඉදිරියට යන්න හැකිවේවා! යැයි ප්‍රාර්ථනා කරනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
පස්වෙනි විධායක ජනාධිපතිතුමනි, අපේ අගමැතිතුමනි, මේ වැඩ පිළිවෙල ආරම්භ කෙරුවෙ ඔබතුමා 2014 දෙසැම්බර් මාසෙ. අධිවේගී මාර්ගයට මුල්ගල් තිබ්බා. මුදල් වෙන් කෙරුවා දේශීය බැංකු ණය ක්‍රමය යටතේ. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඇවිල්ල තමයි මේකට මුල්ගල් තිබ්බේ. එදා නාමල් රාජපක්ෂ මැතිතුමත් මට මතකයි මෙහෙ ඇවිල්ල එදා රැස්වීමක් කෙරුවා තරුණ අය එකතු කරගෙන. එහෙම තමයි මේක ආරම්භ කෙරුවේ.
මෙම ජල යෝජනා ක්‍රමය අපේ රජයෙන් ආරම්භ කෙරුවත් අපි පරාජයට පත්වුනා. ඊට පස්සේ මේ සියලුම දේවල් දීල තියෙද්දී ඒ හිටපු ඇමතිතුමා ආපහු ඇවිල්ල මෙතැන පයිප්පයක්ද මොකක්ද විවෘත කරල ගියා. ඊළඟට මේකෙ තිබුණු ලොකුම චෝදනාව ගරු අගමැතිතුමනි, මේ වතුර එන පාරේ බෝයගොඩ ප්‍රදේශයේ ගම්මානවලට වතුර ලබාදුන්නේ නැහැ. මේ ගැන මම අපේ අගමැතිතුමාව දැනුවත් කළාම වාසුදේව ඇමතිතුමාව දැනුවත් කෙරුවා. ඒ අය ඒ වෙලාවෙම නියම කෙරුවා වහාම ඒ මාර්ග පද්ධතියටත් වතුර ලබාදෙන්න කියල.
අපි බොහොම සාධාරණ ආණ්ඩුවක්. අපි කිසිම තැනක අපේ රජය ආගම් භේදය, ජාති ‍භේදය වපුරන ආණ්ඩුවක් නෙමෙයි අපිට එහෙම පහර දුන්නට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවයින් පස්සේ සියලුම ජන කොටස් වලට සිංහල , ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් , මැලේ මේ සියළුම ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කොවිඩ් වසංගතය හරහා ඒ ආව මහා විනාශය එන්නත ලබාදීල මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගත්ත නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා. මහා පිනක් එතුමා කෙරුවේ.
ජනතාව දන්නවා අපිට අකමැත්තෙන් පෙට්‍රල් මිල වැඩි කරන්න වුනා. අකමැත්තෙන් භාණ්ඩ මිල වැඩිවෙලා තියෙනවා. හැබැයි අපේ පාලනයෙන් එහා මුළු ලෝකෙම මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙනවා. නමුත් අපි සහන දුන්නා ජනවාරි අලුත් අවුරුද්ද ලබද්දී. සියලුම රාජ්‍ය සේවකයාගේ ඉදලා අහිංසක සමෘද්ධි ලාභියා දක්වාත් උඩරට පළාතේ තේ වතුවල වැඩ කරන මහත්ම මහත්මීන්ටත් ඒ සහන අපි ලබාදුන්නා විතරක් නෙමෙයි රුපියල් පනහේ වී කිලෝ එකට රුපියල් 25 ක් පාඩු ලබල හරි 75 ක් දක්වා වැඩි කරන්න වගේ විවිධ දේවල් අපි ලබාදුන්නා. හැබැයි ඒකට දැන් කියනවා ඡන්ද බලාගෙනයි මේව දීල තියෙන්නේ කියල. සහන දෙනකම් කිව්වේ කෝ සහන කියල. සහන දුන්නයින් පස්සේ මේව බියගම තියෙන ෆැක්ට්‍රියෙන් අච්චු ගහල දෙනව කියල මඩ ගහනවා. දෙනකම් බැන්න. දැන් දුන්නයින් පස්සේත් බනිනවා. යැයි හෙතෙම පැවසීය.
අමරපුර ස්වේජින් මහා නිකායේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කැන්දගොල්ල භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය පුජ්‍ය පනාවල ධම්මින්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩමකර සිටියහ.
අමාත්‍යවරුන්වන වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන්වන සනත් නිශාන්ත, ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගුණපාල රත්නසේකර, සමන්ප්‍රිය හේරත්, අසංක නවරත්න, යූ.කේ සුමිත්, මංජුලා දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් පෙරේරා, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, මාවතගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. ජානක මහත්ම මහත්මීහු ඇතුළු ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.