හෙද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමග මෙරට හෙද සේවයේ මහා අනාගත පෙරළියකට අවස්ථාවක් බිහිවී තිබෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 2023.05.12 දින අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවය අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

අද ජාත්‍යන්තර හෙද දිනය. ජාත්‍යන්තර හෙද දිනයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප රට තුළ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අඛණ්ඩව රැස්වෙනවා. හෙද ක්ෂේත්‍රය අපේ රටේ නීරෝගී භාවය ඇති කරලීම සඳහා වූ වගකීම් දරන ප්‍රධානතම ක්ෂේත්‍රයක් හැටියට අනාගතයට කැපවුණා.

විශේෂයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට විවිධ බාධකයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සෑම සංවිධානයකටම සැලස්මක් අරමුණක් සහ ඉලක්කයක් වගේම තම සාමාජිකයන් මෙන්ම සාමාජිකයන් ජීවත්වන සමාජය සඳහා ද ඉටු කළ යුතු කාර්යභාරයක්ද තිබිය යුතුයි. එම වැඩපිළිවෙළට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කැපවී කටයුතු කළ බව මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. එය සෙසු වෘත්තිය සමිති වලටත් අනෙක් වෘත්තීයමය ක්ෂේත්‍ර වලටත් වැදගත් ආදර්ශ රාශියක් එකතු කර තිබෙනවා. අධික විඩාවට පත් වුණු, විවිධ වැටුප් ප්‍රශ්න නිසා අස්ථාවරවූ හෙද සේවය පුහුණු වීම් ආදියෙන් පෝෂණය වූ හෙද සේවයක් බවට පත්කරන්න හෙද සංගමය කැපවුණා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විශේෂඥ හෙද සේවයක් සමාජයට ඇති කර දී තිබෙනවා. දහස් ගණන් දරුවො හෙද සේවයට බැඳිලා ආඩම්බර ව ඩිප්ලෝමාවක් අරගෙන ගමන් කරපු කාල පරිච්ඡේදය වෙනස් කළා. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයක් බවට මේ හෙද විද්‍යාල පරිවර්තනය කළා. හෙද විද්‍යාලයක් වෙනුවට හෙද විශ්වවිද්‍යාලයක් දිනා දී හෙද සේවය වඩාත් දියුණු අවධියකට ගෙනයා යුතුයි කියන අධිෂ්ඨානය තිබුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ට පමණයි.

හෙද ක්ෂේත්‍රයේ සංගමයේ හිටපු සාමාජික සාමාජිකාවන්ට මා අග්‍රාමාත්‍යවරයා හැටියට සුවිශේෂ ගෞරවයක් පිරි නමනවා. ඔබ නිසයි මේ විශ්වවිද්‍යාලය ඇතිවී තිබෙන්නේ මේ තීරණය ගනු ලැබුවේ. එයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ පණිවිඩය
හෙද ක්ෂේත්‍රයෙහි සාමාජික සාමාජිකාවන් ජයග්‍රහණය කරන මේ විශ්වවිද්‍යාලය පසුගියදා ප්‍රකාශයට පත්කරන්නට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ තීරණය අනුව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශනය පිළිබඳව තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ දියුණු විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කර ගත යුතුයි. එය රටට, සමාජ ගමනට, ආර්ථික ප්‍රගමනයට උදව් වනු ඇති.

මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ වුවත් ජනාධිපතිතුමා එම තීරණය ගැනීමට අපේ අමාත්‍ය මණ්ඩලය සමඟ එකඟ වීමෙන් විශාල ඉදිරි පියවරක් තබනු ලැබුවා. මේ කාල කාලපරිච්ඡේදය ඉතාම දුෂ්කර ම කාල පරිච්ඡේදයක්. අපේ රටේ කවදාවත් ආර්ථිකය මෙහෙම වැටුණේ නැහැ. ඉතිහාසයේ කිසිම දවසක මෙසේ නොවුණු තත්ත්වයකින් අප යළි ගොඩ ආවා. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සඳහා වූ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ඒ ගමන යද්දි මෙවැනි විශ්ව විද්‍යාලයක් බිහිකිරීම සඳහා වූ තීරණය ගෙන ඒ ගෞරවය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නා. ජාත්‍යන්තරව ඒ පිළිගැනීම ඇති. මහා අනාගත ගමනකට ගමන් කරන්නට අවස්ථාවක් දැන් බිහිවී තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ-

හෙද හෙදියන් ලෙස ඔබේ මූලික කාර්යභාරය තමයි අසරණ වූ රෝගීන් ගේ සාත්තුව හරියට කිරීම. අඩුපාඩුකම් පිළිබඳ අපි දන්නවා. ඔබ ලඟ සැම විටම දයාව, කරුණාව, මෛත්‍රිය තියෙන්න ඕනේ. බඳවා ගැනීමේදී මේ සියලු දේ බලන්න ඕනේ. බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ගැන නැවතත් අවධානය යොමු කළ යුතු කාළය එළඹ තිබෙනවා. හෙද සේවාවට, පොලිසියට, හමුදාවට බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. කිසිම දේශපාලනඥයකුගෙන් බලධාරියෙකු ගෙන් ලියුම් ගන්න එපා. සුදුසුකම් සපුරා ගෙන එන අය තමයි හරියට බදව ගන්න අවශ්‍ය වෙන්නේ. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට වුණත් සුදුසු අය යවන්න. කවදාවත් මේ වගේ අවුල් ඇති වෙන්නේ නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ අපි හෙද උපාධියක් ඉල්ලනවා. ලැබුණේ නැහැ. බාධක ආවා. අද අපට හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න හැකියාව ලැබී තිබෙනවා. බලාපොරොත්තු වෙන්නේ විනය ගරුක ශික්ෂාකාමි හෙද සේවයක්. හෙද සේවයේ ගරුත්වය රැක ගන්න. නිල ඇඳුමෙන් සාප්පු ගානෙ යන්න එපා. ඉල්ලීම් ලබා ගන්න සටන් කරනවා වගේම ඔබේ ගෞරවයත් රැකගන්න.

මෙහිදී ෆ්ලෝරන්ස් නෛයිටින්ගේල් මැතිනියට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළ අතර හෙද සේවය වෙනුවෙන් සිදුකළ මෙහෙවර ඇගයීම වෙනුවෙන් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සහ හෙද විශ්වවිද්‍යාල ඇති කිරීමට දැක් වූ දායකත්වය ඇගයීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සමරු තිළිණයන් ප්‍රධානය කිරීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, තායිලන්ත, මැලේෂීයානු, සහ ඉන්දුනීසියානු තානාපතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ හෙද හෙදියෝ රැසක් සහභාගි වූහ.

අගමැති මාධ්‍ය අංශය