සේවා කාලය නිම කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා සිය සේවා කාලය නිමවා නැවත ඉන්දියාව බලා යාමට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දින (2023.12.10) අරලිය ගහ මන්දිරයේදී හමුවිය.

සිය සේවා කාලය තුළ දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් දුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ස්තූති කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික බැඳීම හා රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය සදාතනික බවද පැවසීය.

තමන්ගේ නික්ම යාමෙන් පසුව පත්ව එන නව ඉන්දියානු මහකොමසාරිස්වරයාටද තමන්ට මෙන්ම සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ගෝපාල් භාග්ලේ මහතා පැවසීය.

දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීමට හා අසීරුතම අවස්ථාවේ ගෝපාල් භාග්ලේ මහතා දැක්වූ සහායද පෙරළා අගය කළ අග්‍රාමාත්‍යවරයා ලද උපකාර හා සහයෝගය කෘතවේදීව සිහිපත් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ගෝපාල් භාග්ලේ මහත්මිය ද එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය