ප්‍රමුඛ පෙළේ චීන සමාගම් ශ්‍රී ලංකාවේ කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සැරසේ

මෙරට තෝරාගත් කර්මාන්ත කලාපවල මහා පරිමාණ ආයෝජන සිදු කිරීමට ප්‍රමුඛ පෙළේ චීන ආයෝජකයින් පිරිසක් කැමැත්ත පළ කළහ. ඔවුන් ඊයේ (01) පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු කර්මාන්ත කලාපවල කර්මාන්ත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළහ.

ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ නුදුරේදීම ක්‍රියාත්මක කරන බවත් සෘජු විදේශ ආයෝජන සඳහා අමතර පහසුකම් කිහිපයක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සහතික විය.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී Shenzhen Zhong Zhuang ඉදිකිරීම් ආයතනයේ සභාපති ෂුවාන් සොන්ග්(Zhuan Zhong) කියා සිටියේ තම සමාගමට ඉලෙක්ට්‍රොනික හා අධි නිරවද්‍යතාවයෙන් යුත් නිෂ්පාදනයන්, සූර්ය තාප විදුලිය, අධිවේගී බලශක්ති ගබඩා ඒකක, ස්මාර්ට් ග්‍රිඩ්, ආලෝක ශක්තිය විදුලිය බවට හැරවීමේ බලය (photovoltaic power plants ) වැනි ක්ෂේත්‍ර කිහිපයක ආයෝජනය කළ හැකි බවයි. අදාළ සමාගම ග්‍රීසිය, මොරොක්කෝව, මොංගෝලියාව, කැලිෆෝනියාව, ඇමරිකාව, දකුණු ඕස්ට්‍රේලියාව සහ තායිවානය යන රටවල බලශක්ති කර්මාන්තය ආශ්‍රිත ඉදිකිරීම් ව්‍යාපෘතිවල ආයෝජනය කර තිබේ.

Dahua කඩදාසි සමාගමේ සභාපති Wang Junxiong පැවසුවේ තම සමාගමට දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා මෙන්ම වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා මහා පරිමාණ කඩදාසි කර්මාන්තයක් පිහිටුවිය හැකි බවයි.

චීන ආයෝජකයින්ට ඉලෙක්ට්‍රොනික උපකරණ, පතල් කැණීම් සහ මෙරට තවත් බොහෝ කර්මාන්තවලට පිවිසිමේ හැකියාව පවතින බව Dongguan Petrochemical සංගමයේ Guangdong වාණිජ මණ්ඩලයේ සභාපති සොන්ග් බ්ලින්ග්ලියන් පැවසීය.

න්‍යෂ්ටික විද්‍යාඥවරයෙකු මෙන්ම න්‍යෂ්ටික බලශක්ති මෙහෙයුම් ආරක්‍ෂණය පිළිබඳ විශෙෂඥවරයෙකු වන ආචාර්ය ලූ ෂින් (Lu Xing) ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමේ හැකියාව ගවේෂණය කළ යුතු අතර එමඟින් ඉන්ධන,ගල් අඟුරු සහ සූර්ය හා සුළං වැනි කාලගුණික වෙනස්කම්වලට යටත්වන බලශක්තීන් ලබා ගැනීමේ දුෂ්කරතා අවමකරගනිමින් කර්මාන්ත සඳහා අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කෙරෙනු ඇති බවයි.