රජයක් ලෙස, ආයතන අතර සහයෝගීතාව ගොඩ නගන අතර ජනතාවට අවදානම් ගනිමින් නව්‍යකරණයට සහභාගි වීම සඳහා අවශ්‍ය පරිසරය සහ විශ්වාසය ගොඩනැගීම අපගේ කාර්යභාරයයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපාය මාර්ග රාමුව 2026” දියත් කිරීමේ වැඩසටහනෙහි දෙවැනි දිනය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් මැයි 14 වන දින පැවැත්වුණි.
“ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපාය මාර්ග රාමුව 2026” නිල වශයෙන් දියත් කිරීමේ පළමු දිනය මැයි 13, ඊයේ දිනයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” (A Thriving Nation – A Beautiful Life) දැක්ම පෙරදැරිව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපදේශක කමිටුවේ විසින් ලබා දුන් සහයෝගය පෙරදැරිව මෙම ජාතික ප්‍රතිපත්තිය දියත් කරන ලදී.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමටත්, නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමටත්, විශේෂිත මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ. විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන උපදේශන සේවාවන් මෙහිදී නොමිලේ ලබා ගත හැකිය.
මෙම අවස්ථාවට සමගාමීව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් ජාතික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ග රාමුව 2026 අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී.
උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වර්තමානයේ මුහුණ දීමට සිදු ව ඇති ගෝලීය අස්ථාවරත්වය තුළ, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයන් තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගැනීමේ වැදගත්කම අවධාරණය කළා ය.
එම කාර්යභාරය ඉටු කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුවෙහි වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ඒ සඳහා රජයේ වගකීම ද අවධාරණය කළා ය.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව (SME) ජාතික උපායමාර්ගික රාමුව වැදගත් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ප්‍රතිපත්ති රාමුවක් සහ ඔවුන්ගේ ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා සහයෝගය ලබා දෙන බැවිනි. මෙම සැලැස්ම හරහා ප්‍රතිපත්තිවල අනුකූලතාව තක්සේරු කිරීම, සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ප්‍රතිපත්ති සාක්ෂි මත පදනම් ව දිගුකාලීන දැක්මක් මගින් මෙහෙයවනු ලබන බව සහතික කරනවා.
රජයක් ලෙස, ආයතන අතර සහයෝගීතාව ගොඩ නගන අතර ජනතාවට අවදානම් ගනිමින් නව්‍යකරණයට සහභාගි වීම සඳහා අවශ්‍ය පරිසරය සහ විශ්වාසය ගොඩනැගීම අපගේ කාර්යභාරයයි. ප්‍රතිපත්ති නිරන්තරයෙන් වෙනස් නොවන බව ජනතාවට සහතික විය යුතුයි. ප්‍රතිපත්තිවල කාලෝචිත බව, ස්ථාවර බව හරහා තමයි මේ සැලැස්ම ඉදිරියට ගෙන යා හැක්කේ. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මූලික වුණු ඔබ සැමට මම සුබ පැතුම් එක් කරනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ව්‍යවසායකත්ව අධ්‍යනය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තවදුරටත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් හඳුනා ගනිමින් විවිධ ක්ෂේත්‍රයන්හි ඉදිරි මාර්ග ගොඩ නඟා ගත හැකි වන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළා ය. 6 ශ්‍රේණියේ සිට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය හඳුන්වාදීම පිළිබඳව තවදුරටත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළ අතර, සිසුන්ට ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රයෝගික වශයෙන් ලබා ගැනීමට අවස්ථා ලබා දීම කර්මාන්ත අමාත්‍යාංශයේ සහාය අවශ්‍ය වන බව තවදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird මහත්මිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය සහ ව්‍යාපාරික ප්‍රජාවේ හවුල්කරුවන් සහ නියෝජිතයින් සහභාගී වූහ
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය