යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳව සහ ඒ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

යුද්ධය පැවති ප්‍රදේශවල සංවර්ධන කටයුතු සහ ජනජීවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලෙයි සහ පුනරින් යන ප්‍රදේශවල පැවති ජාතික ජන බලවේගයේ ජනහමු අමතමින් ඊයේ (19) අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

" කිලිනොච්චි දිස්ත්‍රික්කය කියලා කියන්නෙ යුද්ධය පැවති කාලය පුරාම බැට කාපු ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක්, යුද්ධය නිසා ආබාධිත වූ විශාල පිරිසක් මෙහෙ ඉන්නවා. තරුණ පරපුරේ දෙමාපියන් බොහෝ දෙනෙක් ඒ කාලේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස් බව මට දැනගන්න ලැබුණා.

උතුරු නැගෙනහිර කාන්තාවන් බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන බොහෝ පීඩාවට පත් වෙලා තියනවා. ඔවුන් ඒවා ලබා ගත්තේ තමන්ගේ පවුල වෙනුවෙන් එහෙම නැත්නම් දරුවන්ට උගන්වන්න.

සමහර ප්‍රදේශවල අභිමානයෙන් අවසන් ගමන යන්න සුසානභූමියක් වත් නෑ. ඒක හරිම සංවේදී කාරණාවක්.

සමහර ප්‍රදේශවල පානීය ජල ගැටළු තිබෙනවා. ජලයට ලවන මිශ්‍ර වීම නිසා ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒවගේම දරුවන්ට යන්න හොද පාසලක් නෑ.

මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි. මේවා විසදන්න පුළුවන් ප්‍රශ්න. හැබැයි කලින් හිටපු පාලකයන්ට මේවා දැණුනේ නෑ. ඒ නිසයි ඔබ පීඩා විදින්නේ.

වසර 16කට පසු අද අපි දකිනවා යුද්ධයෙන් විනාශ වුණ පොල් ගස්, තල් ගස් ආයෙම වැවිලා. හැබැයි ඊට වඩා මොනවද මේ ප්‍රදේශවල වෙනස් වෙලා තියෙන්නේ.? ජනජීවිතය වෙනස් වෙලා තියනවද ? යුද්ධය පැවති ප්‍රදේශවල ගැටළු පිළිබඳ සොයා බැලුවම පැහැදිළියි ඒ ප්‍රදේශවලට විශේෂ අවධානයක් අවශ්‍යයි කියලා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග ,ජිවනෝපාය ආදී ජනතාවගේ මුලික අවශ්‍යතා යුද්ධය හමාර වී වසර ගණනකට පසුවත් තාම ඉටු වී නැහැ. ඒ සඳහා ප්‍රාදේශීය මට්ටමින් නිවැරදි නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තදින්ම පවතිනවා.

උතුරු නැගෙනහිර, සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ප්‍රදේශ සංවර්ධනය කර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඉදිරියේ දී එලෙසින් ශක්තිමත් සංවර්ධිත ප්‍රාදේශීය සභා සහ නගර සභා ගොඩනැගීම උදෙසා ජනතාවට සවන්දෙමින් ජනතාවාදීව ක්‍රියාත්මක වන ජාතික ජන බලවේගය සමඟ ගම ශක්තිමත් කිරීමට ජනතාවට එකතුවන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආරාධනා කළාය.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන්, කරුණානන්තන් යන මහත්වරුන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය