ජාත්‍යන්තර ව්‍යාපාරික වැඩසටහන් සඳහා ශ්‍රීලංකාව අද්විතිය ස්ථානයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රි ලංකා නාමය ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා " SL MICE EXPO 2025" ඉතා හොද අවස්ථාවක්

ජාත්‍යන්තර ව්‍යාපාරික වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාව අද්විතීය ස්ථානයක් බවත්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා " SL MICE EXPO 2025" ඉතා හොද අවස්ථාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) විසින් සංවිධානය කළ "SL MICE EXP0 2025" ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් සැප්තැම්බර් 23 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 30 කට අයත් නියෝජිතයින් 100 ක් සහභාගී වන අතර අද සිට දින 05ක් පුරා "SL MICE Expo 2025" ප්‍රදර්ශනය ⁣පැවැත් වේ.

ශ්‍රී ලංකාව MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් කිරීම මගින් දේශීය සහ ජාත්‍යන්තර MICE අංශ තුළ තම සේවා, නිෂ්පාදන සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව සලසාදීම මෙහි අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"මෙය ප්‍රදර්ශනයක් පමණක් නෙමයි. අපේ දේශීය ව්‍යාපාරිකයන්ට හා පාර්ශවකරුවන්ට සෘජුවම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර කටයුතුවල යෙදීමට හා දැනුම ලබා ගැනීමට අවස්ථාවක්. මෙවැනි ප්‍රදර්ශන මගින් ශ්‍රී ලංකාව රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන පැවැත්වීමේ ගමනාන්තයක් බවට පත්කිරීමට අවස්ථාව සැලසෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතා වැදගත් ස්ථානයක් සංචාරක ක්ෂේත්‍රයට හිමි වෙනවා. 2024 වර්ෂයේ සංචාරක ව්‍යාපාරය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක ප්‍රමාණයක් උපයාගෙන තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ආදායමක් ජාතික ආර්ථිකයට ලබා දී තිබෙනවා. විදෙස් හුවමාරුව සඳහා දායකත්වය ලබා දෙන අංශ අතර සංචාරක කර්මාන්තය, තෙවන විශාලතම අංශයයි. එය සංවර්ධනයට වගේම ජාතික ආර්ථිකයේ ධනාත්මක වෙනසකට විශාල වශයෙන් බලපානවා.

ශ්‍රි ලංකාවේ වටිනාකම් වගේම භූගෝලීය පිහිටීමත්, ආසියාව ගල්ෆ්, බටහිර ආසියාව වගේම එතනින් එහාටත් පවතින අන්තර් සබඳතාවයත් හේතුවෙන් ජාත්‍යන්තර ව්‍යාපාරික වැඩසටහන් සඳහා අද්විතීය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි විවිධත්වයෙන් යුතු ස්වභාවික අලංකාරය, ශතවර්ෂ ගණනාවක් පැරණි සංස්කෘතිය වගේම අපේ රටේ පවතින ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාරත් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවට ⁣ශ්‍රී ලංකාවේදී අත්දකින්න පුලුවන්.

විශේෂයෙන් මේ ප්‍රදර්ශනය ⁣විදේශීය ගැනුම්කරුවන් සහ දේශිය සැපයුම් කරුවන් අතර මනා සබඳතාවක් ගොඩනගන්න ඉතාමත් හොද අවස්ථාවක්.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය එක්ව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාව MICE මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මගින් ආර්ථිකය නගා සිටුවීමට දක්වන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි වැඩ බලන සාමාන්‍යාධිකාරී අචිනි දන්දුන්නගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ රටවල් 30කට අයත් විදේශ නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය