මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වුණා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් අළුත් අවස්ථාවන් බිහි වී තිබෙනවා....

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.12.17 දින ජා ඇල නගරසභා ක්‍රීඩාංගණයේදී දශකයකට පසුව පැවැත් වූ ’මහපොළ’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය සනිටුහන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

දස වසරකට පසු යළිත් පණ ගැන්වුණු මහපොළ ලක් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂ වැඩපිළිවෙළක්. මහවැලි ගඟ වගේ නොනවතින මහපොළ, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ආරම්භ කිරීමෙන් පසු විවිධ ආකාරයෙන් පුළුල් වෙමින් රට පුරා ගමන් කරමින්, විවිධ පෙරළි කරමින්, මහපොළක් බවට පත්වුණා.

ලලිත් ඇතුළත් මුදලි මහතා සමග පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් හැටියට මා දකිනවා සෑම අවස්ථාවකම විශිෂ්ට දේශකයෙක් හැටියට ලලිත් අලුත් දෙයක් පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළ බව දුටුවා. ඒ නිසාම ඔහුට අදත් අපි ගරු කරනවා. උතුම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස තම ප්‍රතිවිරුද්ධ මතවාදීන් සමඟ එක්ව සාකච්ඡා කරන්නට පුළුවන් ක්‍රමයක් අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට දායාද කළා. ඊටත් වඩා ඔහු නිර්මාණශීලීව ඇති කළ මහපොළ අපේ රටේ දූ දරු පරම්පරාවගේ අනාගතය සඳහා දෙන සහාය අපමණයි.

හැම මවක්ම පියෙක්ම දරුවෙක්ගේ අනාගතය ගැන හිතනවා. ආදරණීය දරුවන්ට ඒ අනාගතය කරා යන්නට තිබුණු විශාල ගැටලු විසඳමින් අපේ ගම්බද නගරබද විශාල ජනතා කොට්ඨාශවල දරුවන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්වය එවැනි ප්‍රත්‍යක් ජනිත කරන්නට පුළුවන් බව පෙන්වා දුන්නා.

සේවක අර්ථ සාධක අරමුදල ලංකාවේ තිබෙන, ආසියාවේ තිබෙන සේවකයන් සඳහා වූ යෝධතම බැංකුවක් බවට අද පත්වී තිබෙනවා. ආරම්භයේදී කිසිවෙකු හිතුවේ නැහැ මෙවන් ශක්තිමත් යෝධ බැංකුවක් ඒ තුළින් බිහිවෙයි කියලා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමත් හිතුවේ නැහැ, මේ තරම් යෝධ පෙරළියක්, විප්ලවයක් අධ්‍යාපනයට මේ ආකාරයෙන් දායාද කරන්න හැකි වෙයි කියලා.

මේ රට ගොඩනැගිය හැකි දරුවන් මහපොළෙන් බිහිවෙලා රටේ විවිධ ආයතනවලත් ජාත්‍යන්තරව අදත් සේවය කරනවා. මහපොළ වැඩපිළිවෙල යළිත් ආරම්භ කොට ඉදිරියට ගෙනයන ක්‍රියාමාර්ගය අපේ රටේ හැදෙන වැඩෙන පරම්පරාව සඳහායි. එදා මහ පොළ ආරම්භ කරනකොට ඇඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් තරමට විශ්ව විද්‍යාල තිබුණේ. එදාට වඩා රටේ අද තුන් ගුණයක් හතර ගුණයකට වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්ව විද්‍යාල තියෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල විස්සකට වැඩිය මේ රටේ තියෙනවා.

අලුත් තොරතුරු තාක්ෂණය හා විද්‍යාව අභියෝගයන් ජය ගන්නට පුළුවන් තත්ත්වයට පරිවර්තනය කරන කේන්ද්‍රස්ථානයක් මහපොළ. අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් මහපොළ සෙවණ යට කියලා අලුත් පණිවිඩයක් රටට යවන්න ආරම්භ වී තිබෙනවා. අභියෝග ජයගන්න නම් අපි සම්ප්‍රදාය වෙනස් කරලා, අලුත් අභියෝග ජයගන්න රටක පරම්පරාව විය යුතුයි කියලා මේ මහපොළ කියාපානවා.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය