ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
“සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරීමට නිවැරදි දත්ත කළමනාකරණයක් මත තීන්දු තීරණ ගත යුතුයි.”
දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත්,ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අරලියගහ මන්දිරයේදී 2026.06.06 දින පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර (NEMIS) සහ (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි කටයුතු වඩාත් කාර්යක්ෂම සහ සඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය නිර්මාණයකර ඇත.
මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් වූ තොරතුරු පද්ධති භාවිතා කිරීම සිදු වූ අතර මෙම තොරතුරු පද්ධතිය හරහා ජාතික පාසල් සහ පළාත් පාසල්වල සියලු තොරතුරු එකම පද්ධතියක් මගින් ක්‍රියාත්මක වීම සිදු කරනු ලබයි.ඒ අනුව එහි පළමු අදියර මානව සම්පත් මොඩියුලය එළිදැක්වුණි. එම පළමු මොඩියුලය යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ යන පළාත් හතරක ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය යටතේ සිදු කරනු ලබන අතර පසුව එය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන ඉතිරි මොඩියුල තුළින් පාසල්වල සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි මානව සම්පත් කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර ඇත.
මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, තාක්ෂණික කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන සියලුම පාර්ශවකරුවන් ලබා දුන් සහයෝගය මත සිදුකර ඇත.
එමෙන්ම “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතියද මීට සමගාමීව එළිදැක්වූ අතර එමගින් ඩිජිටල් ඉගෙනුම් අවස්ථා පුළුල් කරමින් සිසුන් උදෙසා ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පාදනු ඇත.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අධ්‍යාපන පද්ධතියේ එක් එක් අංශ එකිනෙකින් වෙන් වී, හුදෙකලා ලෙස ක්‍රියාත්මක වීම වෙනුවට, අප අධ්‍යාපන පරිපාලනය, අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය සහ අධ්‍යාපනික විෂය අන්තර්ගතය යන සියල්ල එකිනෙකට බද්ධ කරමින් සම්බන්ධ කර තිබෙනවා. අප ආරම්භ කළ එම කර්තව්‍යය සුළුපටු දෙයක් නෙමෙයි.
අපේ රජයට ඩිජිටල්කරණය අතිශයින්ම වැදගත් දෙයක්. වෙනස් වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙමින් ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේම අප විශ්වාස කරනවා රජයේ සේවාවන් වඩා කාර්යක්ෂමව, විනිවිද භාවයෙන් ජනතාවට ලබාදීමටනම් ඩිජිටල්කරණය අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම ඉදිරියේදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු තුළ දී ද අපිට නිවැරදි දත්ත අවශ්‍ය වනවා. මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඔස්සේ අපට නිවැරදි දත්ත ලබාගත හැකිවෙනවා සේම, අධ්‍යාපනයේ විනිවිද භාවය සහ ගුණාත්මක භාවය තහවුරුකරගත හැකි වෙනවා.
ජාතික පාසල් සියල්ලම මේ පද්ධතියට ඉතාමත්ම ඉක්මනින් ඇතුළත් කරනවා. දැනටමත් පළාත් කිහිපයක පාසල්වල ගුරුවරුන්ගේ තොරතුරු මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ හරහා අධ්‍යාපන සේවාවට අයත් ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු, උසස් වීම් කටයුතු වැනි දෑ ඉතාමත් විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව කරගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.
රජයේ සේවාවන් අප මේ විදියට ඩිජිටල් ක්‍රමයට ලක්කරනවානම්, ඒවා භාවිතා කිරීමට දැනුම තියෙන පුරවැසියන් අපට බිහිකළයුතු වෙනවා. එහි ප්‍රධානතම වගකීම පැවරෙන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒ නිසා තමයි (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා මානව සම්පත ගොඩනැගීමේ එම ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.
විශේෂයෙන්ම ඩිජිටල්කරණය කියන්නේ ගුරුවරයා වෙනුවට කරන ආදේශනයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ සහසම්බන්ධතාවයක් තියෙන දෙයක්. පන්ති කාමරවල කොපමණ තාක්ෂණික උපකරණ තිබුණත් ඉගෙනීම් කටයුතු නිකන් සිද්ධ වෙන්නෙ නැහැ. දරුවන් සමග අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකරන්නෙ ගුරුවරයා. එම නිසා ඩිජිටල්කරණය ගුරුවරුන් මෙවලමක් කරගත යුතුයි. ඒකෙන් ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් වැඩිකරනවා.
අප ඩිජිටල්කරණය භාවිත කරමින් පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක භාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබාදෙන්නේ කෙසේද, සෑම පාසලකටම හොඳ ගුරුවරුන්ගේ ආභාෂය ලබාදෙන්නේ කොහොමද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනයේ ඉහළට යාම සඳහා අවකාශය සලසා දෙන්නේ කුමන ආකාරයටද යන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. මානවවාදී ශිෂ්ට සම්පන්න, අනාගතය ගැන අදහසක් තියෙන පුරවැසියන් බිහිකරන ගමනක් අප ඩිජිටල්කරණය ඔස්සේ යාමට සැලසුම් කරමින් ඉන්නවා.
එමෙන්ම මෙහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ සබරගමුව, නැගෙනහිර හා ඌව පළාත් නියෝජනය කළ නිලධාරීන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සඳහා සමරු පලක ගරු අග්‍රාමාත්‍යතුමිය අතින් ප්‍රධානය කරන ලදි.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.මීට අමතරව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, ගුවන් හමුදාපතිවරයා, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ද, අග්‍රාමාත්‍ය කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි උසස් නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වූහ. එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම පිළිබඳ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





