අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

“සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරීමට නිවැරදි දත්ත කළමනාකරණයක් මත තීන්දු තීරණ ගත යුතුයි.”

දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත්,ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අරලියගහ මන්දිරයේදී 2026.06.06 දින පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර (NEMIS) සහ (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි කටයුතු වඩාත් කාර්යක්ෂම සහ සඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය නිර්මාණයකර ඇත.

මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් වූ තොරතුරු පද්ධති භාවිතා කිරීම සිදු වූ අතර මෙම තොරතුරු පද්ධතිය හරහා ජාතික පාසල් සහ පළාත් පාසල්වල සියලු තොරතුරු එකම පද්ධතියක් මගින් ක්‍රියාත්මක වීම සිදු කරනු ලබයි.ඒ අනුව එහි පළමු අදියර මානව සම්පත් මොඩියුලය එළිදැක්වුණි. එම පළමු මොඩියුලය යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ යන පළාත් හතරක ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය යටතේ සිදු කරනු ලබන අතර පසුව එය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන ඉතිරි මොඩියුල තුළින් පාසල්වල සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි මානව සම්පත් කළමනාකරණය කිරීමට සැලසුම් සකස් කර ඇත.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, තාක්ෂණික කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන සියලුම පාර්ශවකරුවන් ලබා දුන් සහයෝගය මත සිදුකර ඇත.

එමෙන්ම “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ (LMS) නියමු ව්‍යාපෘතියද මීට සමගාමීව එළිදැක්වූ අතර එමගින් ඩිජිටල් ඉගෙනුම් අවස්ථා පුළුල් කරමින් සිසුන් උදෙසා ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පාදනු ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අධ්‍යාපන පද්ධතියේ එක් එක් අංශ එකිනෙකින් වෙන් වී, හුදෙකලා ලෙස ක්‍රියාත්මක වීම වෙනුවට, අප අධ්‍යාපන පරිපාලනය, අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය සහ අධ්‍යාපනික විෂය අන්තර්ගතය යන සියල්ල එකිනෙකට බද්ධ කරමින් සම්බන්ධ කර තිබෙනවා. අප ආරම්භ කළ එම කර්තව්‍යය සුළුපටු දෙයක් නෙමෙයි.

අපේ රජයට ඩිජිටල්කරණය අතිශයින්ම වැදගත් දෙයක්. වෙනස් වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙමින් ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේම අප විශ්වාස කරනවා රජයේ සේවාවන් වඩා කාර්යක්ෂමව, විනිවිද භාවයෙන් ජනතාවට ලබාදීමටනම් ඩිජිටල්කරණය අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම ඉදිරියේදී කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු තුළ දී ද අපිට නිවැරදි දත්ත අවශ්‍ය වනවා. මෙම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඔස්සේ අපට නිවැරදි දත්ත ලබාගත හැකිවෙනවා සේම, අධ්‍යාපනයේ විනිවිද භාවය සහ ගුණාත්මක භාවය තහවුරුකරගත හැකි වෙනවා.

ජාතික පාසල් සියල්ලම මේ පද්ධතියට ඉතාමත්ම ඉක්මනින් ඇතුළත් කරනවා. දැනටමත් පළාත් කිහිපයක පාසල්වල ගුරුවරුන්ගේ තොරතුරු මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ හරහා අධ්‍යාපන සේවාවට අයත් ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු, උසස් වීම් කටයුතු වැනි දෑ ඉතාමත් විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව කරගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

රජයේ සේවාවන් අප මේ විදියට ඩිජිටල් ක්‍රමයට ලක්කරනවානම්, ඒවා භාවිතා කිරීමට දැනුම තියෙන පුරවැසියන් අපට බිහිකළයුතු වෙනවා. එහි ප්‍රධානතම වගකීම පැවරෙන්නෙ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒ නිසා තමයි (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා මානව සම්පත ගොඩනැගීමේ එම ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.

විශේෂයෙන්ම ඩිජිටල්කරණය කියන්නේ ගුරුවරයා වෙනුවට කරන ආදේශනයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ සහසම්බන්ධතාවයක් තියෙන දෙයක්. පන්ති කාමරවල කොපමණ තාක්ෂණික උපකරණ තිබුණත් ඉගෙනීම් කටයුතු නිකන් සිද්ධ වෙන්නෙ නැහැ. දරුවන් සමග අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාකරන්නෙ ගුරුවරයා. එම නිසා ඩිජිටල්කරණය ගුරුවරුන් මෙවලමක් කරගත යුතුයි. ඒකෙන් ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් වැඩිකරනවා.

අප ඩිජිටල්කරණය භාවිත කරමින් පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක භාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබාදෙන්නේ කෙසේද, සෑම පාසලකටම හොඳ ගුරුවරුන්ගේ ආභාෂය ලබාදෙන්නේ කොහොමද, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනයේ ඉහළට යාම සඳහා අවකාශය සලසා දෙන්නේ කුමන ආකාරයටද යන ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. මානවවාදී ශිෂ්ට සම්පන්න, අනාගතය ගැන අදහසක් තියෙන පුරවැසියන් බිහිකරන ගමනක් අප ඩිජිටල්කරණය ඔස්සේ යාමට සැලසුම් කරමින් ඉන්නවා.

එමෙන්ම මෙහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ සබරගමුව, නැගෙනහිර හා ඌව පළාත් නියෝජනය කළ නිලධාරීන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සඳහා සමරු පලක ගරු අග්‍රාමාත්‍යතුමිය අතින් ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.මීට අමතරව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, ගුවන් හමුදාපතිවරයා, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ද, අග්‍රාමාත්‍ය කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි උසස් නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වූහ. එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම පිළිබඳ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා නායක ධූරයෙන් පිදුම් ලබයි.

පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තර විශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උළෙල අද ( 06 වැනි දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක, අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් වල්පොළ විමලඥාන මහනායක ස්වාමීවහන්සේ වෙත මහා නායක පදවිය වෙනුවෙන් වූ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදු කරන ලදී.

මෙම අවස්ථාට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සහ ගිහි දායක දායිකාවන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලය බවත් ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය , පරිපාලන නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග අද (05) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

මෙතෙක් විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණැගල ශාඛාව තුළ මතුව පැවත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් ඉඩමක් ලබා දීමටත් දේශනශාලා , යටිතලපහසුකම් සහ සනීපරාක්ෂක ගැටලූ ඇතුළු අනෙකුත් ගැටලුවට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

විවෘත විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සමග ඇති ව තිබු ගැටලුව විසඳීමට අවශ්‍ය ඉඩම ලැබී තිබෙනවා නම් ඉදිරි කටයුතු සැලසුම් කරන්න අවශ්‍යයි. ප්‍රතිපාදන ලබා ගැනීම සහ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධතියේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය ,

අධ්‍යාපන ඩිජිටල්කරණය කිරීම අද අපි නිල වශයෙන් ආරම්භ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වෙලා නැහැ. 2027 දී 6 වන ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ වසරේ ආරම්භ කළ පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් සියල්ල අපි නිකුත් කර තිබෙනවා. ලබන වසරට අදාල ගුරු පුහුණුවත් අපි ආරම්භ කරනවා. ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් පසු අපිට ඒ සඳහාත් අනුමැතිය හිමිවුණා. ඒ අනුව මේ වසර තුළ ඒ ගැටලුවටත් විසඳුමක් ලබා දෙන්න සූදානම්. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසදන්න අපිට කැබිනට් අනුමැතිය හිමිවෙලා තිබෙනවා. ඒ අනුව අමාත්‍යංශය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විදුහල්පතිවරුන්ට කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නය විසඳිය හැකි වන බවද සඳහන් කළාය.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා, කුරුණගල දිස්ත්‍රීක් මහජන නියෝජිතයින්, විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු අචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ .

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය වන බැවින්, එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගන්නා බවත්, සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර වයඹ පෙරපාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා වූ පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ අද (05) පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මුල් ළමාවිය අධ්‍යාපනය නංවාලීම සඳහා පිහිටුවා ඇති ප්‍රමුඛතම රාජ්‍ය පුහුණු ආයතනය වන්නේ මෙම වයඹ පෙරපාසල් ගුරු පුහුණු විද්‍යාලයයි.

මෙහි පැමිණ සිටි ආරාධිතයින් විසින් පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා වූ රජයේ ස්ථාවරය පිළිබඳව නව ඩිප්ලෝමාධාරිනියන් දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කළේය.

නව පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරීන් හට ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානය කිරීම සිදුකළ අග්‍රාමාත්‍යතුමිය අනතුරුව අදහස් දක්වමින් මෙසේද කියා සිටියාය.

ඉදිරි අවුරුදු කිහිපය තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන කොමිසම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනයන් සමඟ එක්ව ඒ පිළිබඳ ප්‍රතිපත්ති, ගුරු පුහුණුවට අවශ්‍ය නිර්ණායක සහ ඒවා අධීක්ෂණය කිරීමට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කිරීම සඳහා අප වැඩකටයුතු සකස් කරමින් සිටිනවා.

මෙම වසරේදී පෙරපාසල් ගුරු පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා. ඒ හරහා 2027 වන විට අප බලාපොරොත්තු වෙනවා එකම විෂය මාලාවක් රට පුරා පෙරපාසල් සඳහා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ නිවැරදි මතයක් සමාජගත කිරීමද වැදගත් වෙනවා.

පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ සිදුකළ යුත්තේ දරුවාගේ ඉදිරි ප්‍රාථමික අධ්‍යාපනයට හොඳ සූදානමක් ලබාදීමයි. එමනිසා දරුවන්ගේ චාලක කුසලතා වැනි දේවල් වර්ධනය කිරීමටයි පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ ඉලක්කගත විය යුත්තේ.

දෙමාපියන්, වැඩිහිටියන් හැටියට අපේ වගකීමක් තමයි දරුවාට අනවශ්‍ය බරක් නොදැනෙන ලෙස සමාජශීලීත්වය සහ දැනුම වයසට සුදුසු ආකාරයට වර්ධනය කරගැනීමට ඉඩසැලැස්වීම. විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුන් ලෙස පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන ඒ පණිවිඩය සමාජයට ලබාදීමට ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ගරු ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය දිසානායක සහ අශෝක ගුණසේන යන මහත්වරුන් මෙන්ම වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු වයඹ පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබලගැන්වීමේ කාර්යභාරය ශිෂ්‍ය ආරක්ෂණ නිර්ණායක හා ප්‍රතිපත්ති මත පදනම් වූ විශේෂ වැඩපිළිවෙළක් මත සිදුකරනවා” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන එක් අංගයක් වී ඇත්තේ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබලගැන්වීම ඔස්සේ තාක්ෂණයට හුරුපුරුද්දක් දක්වන තරුණ පරම්පරාවක් බිහි කිරීම වන බවත්, එම ක්‍රියාවලිය ඩිජිටල්කරණය හා සම්බන්ධ ශිෂ්‍ය ආරක්ෂණ නිර්ණායක හා ප්‍රතිපත්ති මත පදනම්ව සිදු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතරතුරදී ව/ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයේදී අද (05) පැවති අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ද්විතීක පාසල් සඳහා ලබාදුන් සුහුරු පුවරු (smart boards) සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමිත්‍යතුමිය මේ බව පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඩිජිටල් කාර්යසාධක බලකායේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා ඇති සුහුරු පුවරු (smart board) නොමැති ද්විතීක පාසල් හඳුනාගනිමින් එම පාසල් සඳහා සුහුරු පුවරු උපකරණ ලබාදීම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මඟින් වෙන්කළ රුපියල් බිලියන 1.6 ක ප්‍රතිපාදන ඔස්සේ රට පුරා ද්විතීක පාසල් 2890 කට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සුහුරු පුවරු (smart board) ලබාදීම සිදුකර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතිය යටතේ පාසල් 1000කුත්, චීන ජනරජයේ ප්‍රදාන යටතේ පාසල් 500කුත් වශයෙන් සමස්ත පාසල් 4390 කට මේ වන විට සුහුරු පුවරු (smart board) ලබාදී හමාරය.

මෙහිදී එම ව්‍යාපෘතිය යටතේ ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයට හිමි වූ සුහුරු පුවරු පන්ති කාමරය (Smart Board classroom) සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමිය එම සුහුරු පුවරුව භාවිත කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන් ලබන අත්දැකීම ද නිරීක්ෂණය කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පවසා සිටියාය.

අද විශේෂ දිනයක්. කාලයක් තිස්සේ කළ ක්‍රියාවලියක යම් විජයග්‍රහණයක් ලබාගත් මොහොතක් තමයි මෙම සුහුරු පුවරු (smart board) ලබාදීම ඔස්සේ සිදුවන්නෙ. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමස්ත අධ්‍යාපනයේ ඇති පුළුල් පරාසයම ආවරණය වන පරිදි නිර්මාණය වූ දෙයක්. එමනිසා ලොකු පාසල, පොඩි පාසල කියා භේදයකින් තොරව සියලු සිසුන්ට සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙමින් යන ගමනේ එක කොටසක් තමයි මේ ඩිජිටල් අධ්‍යාපනය කියන්නෙ.

ඒ අනුව අද වන විට ශ්‍රී ලංකාවේ පවතින ද්විතීක ශ්‍රේණි සහිත පාසල් 6215 ක් අතරින් පාසල් 6084 කටම මේ වන විට සුහුරු පුවරු පහසුකම තියෙනවා. ඒ වගේම මෙම වසර අවසානය වන විට එම පාසල් සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ අධ්‍යාපන පරිපාලන කටයුතු සඳහාද අවශ්‍ය වන ඩිජිටල් උපකරණ ලබාදීමටත් අප වැඩකරමින් ඉන්නවා.

එසේම අධ්‍යාපන පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහාත් ඩිජිටල් පද්ධතියක් අප හඳුන්වාදීමට කටයුතු කරනවා. අධ්‍යාපන ක්‍රියාවලියට අයත් සම්පත් කළමනාකරණ කටයුතු ඒ හරහා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපනය කියන්නෙ පොත පතට හා විභාග ප්‍රතිඵල මත පමණක් තීරණය වන දෙයක් නෙමෙයි. පාසලක සාර්ථකත්වය මනින්න ගොඩක් නිර්ණායක තියෙනවා. දරුවන්ගෙ පිබිදීම, දරුවන් සහ ගුරුවරු අතර තියෙන ගෞරවය, දරුවන්ගෙ මුහුණුවල ඒ තියෙන සතුට තමයි හොඳම නිර්ණායක වන්නෙ.පාසල කියන්නෙ දරුවකුගේ පවුලට සමාන විය යුතු තැනක්. එමනිසා දරුවන්ට පාසල තුළ සුරක්ෂිතතාව සහ ආදරණීය බැඳීම ඇතිකිරීම සඳහා අපගේ අවධානය යොමුකළ යුතුයි.

එමෙන්ම මෙහිදී ලෝක පරිසර දිනය නිමිත්තෙන් අදහස් පළකර සිටි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පරිසර හිතකාමී මාර්ගයක් ඔස්සේ සංවර්ධනයක් කරා රට රැගෙන යාම අපගේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වී ඇති බවයි. එසේම තරුණ පරපුරට ඒ සඳහා සිදුකළ හැකි දායකත්වය අතිවිශාල බවද අග්‍රාමිත්‍යතුමිය ප්‍රකාශ කර සිටියාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු වයඹ පළාත් දේශපාලන සහ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජගත් පරිසර දින සුභපැතුම් පණිවුඩය

​පරිසරය යනු අපගේ පැවැත්මේජ පදනමයි. අනාගත පරපුර උදෙසා සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ හරිත මිහිතලයක් දායාද කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීමක් ලෙස මම සලකමි.

​“Urgent Climate Action” – කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය යන ගෝලීය තේමාවට සමගාමීව, “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය සමරන්නේ අතිශය තීරණාත්මක කාලවකවානුවකදීය. මෑතකදී අප මුහුණ දුන් දේශගුණික අභියෝගයන්ගෙන් ලද පාඩම් ඔස්සේ, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සුරැකීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

​පරිසර අමාත්‍යාංශය විසින් මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරන විවිධ ප්‍රායෝගික වැඩසටහන් මාලාව තුළින් ආගමික සංකල්ප මුල් කරගත් පරිසර සංරක්ෂණය, දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම, දියවන්නා ඔය සුරැකීම, වනජීවී ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජල මූලාශ්‍ර ආරක්ෂණය සහ ඖෂධීය පැළ වගාව ප්‍රවර්ධනය වැනි වැඩසටහන් මගින්, පරිසර සංරක්ෂණය හුදු අදහසකට පමණක් සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් බවට පත්ව ඇති බව පැහැදිලිය.

පසුගිය වසරේ ආරම්භ කළ "වනස්පති" ජාතික වැඩසටහන ඔස්සේ මෙතෙක් හෙක්ටයාර හැටතුන්දහසකට අධික වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ගැසට් කරමින් අප රට ඉතිහාසයට එක්වන මෙම සුවිශේෂී මොහොතේ, පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත් වීමට සෑම පුරවැසියෙකුම අධිෂ්ඨාන කර ගත යුතුය.

​ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය