අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ශ්‍රී ලාංකීය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා RIMES ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කල, මැයි 08 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ, පැවති අප්‍රිකා සහ ආසියාතික රටවල් සඳහා වන කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) සිව්වැනි අමාත්‍ය සමුළුවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

අප්‍රිකා සහ ආසියාතික රටවල් මූලික වශයෙන් මුහුණ පා ඇති අවදානම් අධීක්ෂණය කිරීම, තක්සේරු කිරීම, සන්නිවේදනය කිරීම සහ තීරණ ගැනීම සඳහා එම අවදානම් තොරතුරු යෙදවීම යන පහසුකම් සැලසීම සඳහා 2009 අප්‍රේල් 30 වැනි දින RIMES පිහිටුවා ඇත.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය:

"2017 වසරේ පැපුවා නිව්ගිනියාවේ පැවති තුන්වන අමාත්‍ය සමුළුවේදී RIMES හි සිව්වන අමාත්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා යෝජනාව ඉදිරිපත් කළා. ගෝලීය COVID-19 වසංගතය මෙන් ම ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය වැනි විවිධ අභියෝග නිසා මෙම සමුළුව මේ වන තෙක් කල් දැමීමට සිදු වුවත්, මෙම අවස්ථාව අද දින යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විශේෂයෙන්ම RIMES ඇතුළුව ඉඩම් සහ වාරිමාර්ග, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ලබා දුන් සහයෝගය අපි අගය කළ යුතුයි.

ස්වාභාවික විපත් අතරින්, 2004 වසරේ දී අපට මුහුණ පෑමට සිදු වුණු සුනාමි ව්‍යවසනය මෑත ඉතිහාසයේ සිදු වුණු දරුණුම ඛේදවාචකයක්. ඒ ව්‍යවසනයෙන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක ජීවිත බිලිගත්තා. මෙම ඛේදවාචකය නිසා රටට සිදුවුණු ආර්ථික හා සමාජයීය බිඳ වැටීම වගේ ම දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූණු දරුවන්ගේ වේදනාව තාමත් අපි විඳදරා ගන්නවා.

මෙවැනි අවස්ථාවල දී ශ්‍රී ලාංකේය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම RIMES විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. එවැනි සමාජ මෙහෙවරයන් ඉදිරියටත් ඉටු කිරීමට RIMES හි ප්‍රයත්නයට මම සුභ පතන අතර ම සමස්ථ ශ්‍රී ලංකේය සහ ගෝලීය ප්‍රජාවේ යහපත උදෙසා දෙපාර්ශවය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැප වී සිටිනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, තානාපතිවරුන්, RIMES සාමාජික රටවල නියෝජිතයින්, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලෝක බැංකු කණ්ඩායමේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති අජේ බංගා මහතා අතර හමුවක් මැයි 07 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සහ උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රමුඛ අරමුණක් වී තිබිණි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුවේ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය, ලෝක බැංකු කණ්ඩා⁣යමේ සභාපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළ අතර සියලු දෙනාම ඇතුළත් වන සහ තිරසාර සංවර්ධනය සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද අවධාරණය කළාය.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය අගය කළ ලෝක බැංකු කණ්ඩායමේ සභාපති බන්ගා මහතා, ආර්ථිකය යථාතත්වයට පත්කරලීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙලේ ප්‍රධානම සාධකයක් ලෙස නව රැකියා නිර්මාණය කිරීමේ සහ රැකියා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වැදගත් බව මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ නිෂ්පාදන කර්මාන්ත වැනි තීරණාත්මක අංශවල ආයෝජනය කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව මෙන්ම එහි ප්‍රධාන අංශ සංවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ ශක්‍යතාව හා වැදගත්කම පිළිබඳවද බන්ගා මහතා සිය අදහස් පළ කළේය.

නවෝත්පාදන සහ ඵලදායිතාව සඳහා මෙම කෘතීම බුද්ධිය භාවිතයේ හැකියාවන් ගවේෂණය කිරීමටද ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

නැගී එන කර්මාන්තවල අවශ්‍යතාවන් සමඟ වඩා හොඳින් ගැලපීම සඳහා සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙම හමුවට ලෝක බැංකු කණ්ඩායම නියෝජනය කරමින් එහි විශේෂ උපදේශක Trevor Kincaid, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ David Sislen, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය අංශ අධ්‍යක්ෂ Gevorg Sargsyan, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ දකුණු ආසියාව සඳහා කලාපීය අධ්‍යක්ෂ Imad Fakhoury, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, සහ එම අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධම්මික ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය සහ GSP+ අධීක්ෂණ මෙහෙයුම සඳහා යුරෝපා සංගම් නියෝජිත පිරිස අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (මැයි 05) GSP+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා හමුවිය.

අග්‍රාමාත්‍යවරිය යුරෝපා සංගම් නියෝජිත පිරිස පිළිගත් අතර, විශේෂයෙන් GSP+ රාමුව හරහා යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළාය.

දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් පරිවර්තනය සහ “Clean Sri Lanka” මෙහෙයුම ඇතුළු රජයේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා රජයේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු වත්මන් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳවද අවදානය යොමු කළාය.

ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්ති, විශේෂයෙන් GSP+ යාන්ත්‍රණයේ මූලික අරමුණු සමඟ අනුකූල වන ඒවා හඳුන්වා දීම යුරෝපා සංගම් නියෝජිත පිරිසගේ ප්‍රසාදයට හේතුවිය. ඔවුන් GSP+ සහන සඳහා නැවත අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මග පෙන්වීමක් ලබා දුන් අතර ශ්‍රී ලංකාවේ විධිමත් සංවර්ධන ක්‍රියාවලින් සඳහා සහාය දැක්වීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළහ. මෙම සංවාදයේදී IMF හි සහභාගීත්වය සහ කාන්තා දේශපාලන හා ආර්ථික සහභාගීත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන ලදී. ශ්‍රම බලකායට වැඩි කාන්තා පිරිසක් ඇතුළත් කර ගැනීම සඳහා ළමාරක්ෂක සේවා, වැඩිහිටි සත්කාර සහ ප්‍රවාහනය වැනි ආධාරක පද්ධති වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

ආර්ථික, සංස්කෘතික සහ සංචාරක අංශ හරහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ අවදානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාමන් මොරේනෝ මහතා මෙම හමුවේදී සඳහන් කලේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම හමුවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක්.

ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළේය.

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළාය. එසේම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කළාය.

දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය අදහස් හුවමාරු කර ගත්තාය.

වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා ඇතුළු ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ආසියාව ගෝලීය ආර්ථිකයේ බලවතා වෙමින් යනවා, ඒ තුළ අපි කොතනද ස්ථනගත වෙන්න ඕනේ කියලා තීරණය කරන්න ඕන - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අක්‍රමිකතාවලින් ලාභ ලබපු අය ⁣රජය සිදුකරන පරිවර්ථනයට විරුද්ධයි.

ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට ස්ථිර විසඳුම් දෙන්න රජයට වැඩ පිළිවෙලක් තිබෙනවා.

අක්‍රමිකතා සිදුකරමින් ලාභ ලැබූ පිරිස රජය සිදු කරන පරිවර්ථනයට විරුද්ධ බවත්, ජනතා ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට සිථිර විසඳුම් දෙන්න රජයට වැඩපිලිවෙලක් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කඩුවෙල සහ දෙහිවල,ගල්කිස්ස මහා නගරසභා කේන්ද්‍ර කර ගනිමින් අද (03) පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපි රට භාරගන්නකොට රටේ තිබුණ තත්ත්වය ඔබ දන්නවා. දේශපාලන සංස්කෘතිය පමණක් නෙමෙයි. ඒ හා සමානම වෙනසක් රාජ්‍ය සේවය තුළත් අවශ්‍යයි. ඒක දැන් අපි සිදු කරමින් යනවා.

ගංවතුරට අපිට තියන එකම ක්‍රමවේදය සහන සේවා දෙන එක වෙලා. ඒක නෙමෙයි වෙන්න ඕන ගංවතුර අවම කරන්න පාලනය කරන්න ක්‍රමවේද ඕන. රටේ හැම ප්‍රශ්නෙකටම වෙලා තිබෙන්නේ ඒක. පැලැස්තර දානවා නමුත් නිසි ක්‍රමවේදයකට විසඳලා නෑ. රාජ්‍ය සේවයත් ඒකට හුරුවෙලා.

අක්‍රමිකතා තියන සංස්කෘතියක් තුළ ක්‍රමවේදයකට යනකොට ඒ අක්‍රමිකතාවලින් පැවතෙන පිරිස හරි ක්‍රමවේදයට ආවම එයිනුත් පාඩුවක් වෙන කට්ටිය ඉන්නවා. ඒ අය මේ පරිවර්තනය කරන්න දෙන්නේ නෑ.

කෙහොම උනත් පවතින ක්‍රමවේදයෙන් මේ රට ගෙනියන්න බෑ. වැරදි ක්‍රමවේද නිසයි මේ රටේ ආර්ථිකය මේ තරම් බිඳ වැටුණේ. ඒ තත්වය වෙනස් කරලා සැලසුම් සහගත ක්‍රමවේදයකට රජය කටයුතු කරගෙන යනවා ඒ නිසයි දැන් ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තිබෙන්නේ. ආර්ථිකයේ සිදුවන වෙනස් වීම්වලට ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට අපි මේ ක්‍රමවේද හදාගෙන යනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත තීරණ අනුව යුරෝපය වගේම ආසියාවත් කැළඹී තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ මේ මේ රටවල් කියලා අපි සම්ප්‍රදායිකව හිතාගෙන හිටපු එක වෙනස් වෙමින් යනවා. නමුත් ඒ තුළත් ආර්ථික අවස්ථාවන් නිර්මාණය වෙනවා. ගොලීය ආර්ථිකයේ බලවතා බවට ආසියාව පත්වෙමින් යන්නේ. එහෙම නම් ඒ ආර්ථිකය තුළ අපි කොතනද ස්ථානගත වෙන්න ඕන කියලා තීරණය කරන්න ඕන. ඒකට අපේ රට ජාත්‍යන්තර සබඳතා හරියට කළමනාකරණය කරන්න ඕන. විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේද සකස් කරගන්න ඕන. ඒ ආකාරයට ස්ථාවර වෙන එක තමයි අපේ අරමුණ.

ගුරු පුරප්පාඩු පුරවන්න තාම බැරිවෙලා. සැළසුමක් නැතුව හිතෙන හිතෙන දේවල් කරලා විශාල අර්බුධයක් මේ වනවිට නිර්මාණය කරලා තිබෙනවා. මේ රටේ හැම ප්‍රශ්නෙකටම වෙලා තියෙන්නේ ඒක මතුපිටින් විසදුම් දීලා නමුත් ප්‍රශ්නේ හරියට විසඳිලා නෑ. තවත් රජයකට ප්‍රශ්න ඉතිරි නොවෙන්න ක්‍රමවේදයකට වැඩ කරන්න ඕන.

ශිෂ්‍යත්වය අද ප්‍රශ්නයක් වෙලා ඒකට හේතුව ශිෂ්‍යත්වය ලබා ගන්න නෙමෙයි පහසුකම් තියන පාසලකට දරුවා මාරු කරන්න. මේක විසදන්න නම් පාසල් අතර විෂමතාව නැති කරන්න ඕන. ඒකට අවශ්‍ය කටයුතු අපි දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒ සියල්ල සැලසුම් සහගතව රජය කරගෙන යනවා.

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනාගෙන කෙටිකාලීන වගේම දිගුකාලීන විසඳුම් නිරිමාණය කරමින් යනවා. ජාත්‍යන්තරය තුළ විශ්වාසය දිනාගෙන, ආයෝජකයන් ගෙන්වා ගනිමින් පියවරෙන් පියවරට අපි ඉදිරියට යනවා.

පොලීසියට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පැවතුණ දේශපාලන සංස්කෘතිය තුළ ලොකු බාධා ඇති වුණා. දැන් ඒ සියල්ල නිවැරදි වෙමින් යනවා.

යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙලට ජනතාවගේ සහය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසිත නිරෝෂන්, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ ඇතුළු කඩුවෙල හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා අපේක්ෂකයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඔබේ පාසලේ, රෝහලේ, කාර්යාලයේ සිදුවන වංචා ප්‍රතික්ෂේප කරන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විශ්වවිද්‍යාල සිසුවාගේ ඛේදවාචකයෙන් සමාජයේ බැඳීම් අතර කඩා වැටීම ඉස්මතු වෙනවා

මැයි 07 ජයග්‍රහණය සාමකාමීව සමරන්න අපේ අලුත් නියෝජිතයින් වැඩකරන්න සූදානම් වෙන්න

මැයි 7 වන දින ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව සමරණ ලෙසත්, වංචාවට විරුද්ධව සමාජය නැගීසිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

හෝමාගම, කිරිවන්තුඩුව, දාම්පේ, නාවලමුල්ල, මාගම්මන යන ප්‍රදේශවල මැයි 02 දින පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් ක⁣ළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

තව වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න. මූලිකම දේ අපේ අධ්‍යාපනය හරියට හදා ගන්න ඕන. ගුරුවරුන් හරියට පුහුණු කරගන්න අවශ්‍යයි. ගුරු පුරප්පාඩු නිවැරදිව පුරවන්න ඕන. අවුරුදු ගණනාවක් තිස්සේ ගුරු පත්වීම් හරියට දීලා නැහැ. විදුහල්පති පත්වීම් හරියට සිදු කරලා නැහැ. නඩු ගණනාවක් උසාවියේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ විවිධ අක්‍රමිකතාවලට විරුද්ධව.

වංචාව සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන්න ඕන, පාසලේ, රෝහලේ, වැඩබිමේ, කාර්යාලයේ, කඩපිලේ, හැමතැනකදිම ජනතාව වංචාවට විරුද්ධ වෙන්න ඕන. විශේෂයෙන්ම අපේ තරුණ කණ්ඩායම් වලට නැවත වතාවක් සාමූහික එකතු වෙලා කරන්න දේවල් තියෙනවා. සිහින තබා ගැනීම විතරක් නෙමෙයි සිහින යථාර්ථයක් කරන්න මහන්සි වෙන්න ඕන.

පසුගිය දිනවල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ඛේදවාචකයක් අපිට ආරංචි වුණා. ඒ ගැන අපි අමාත්‍යංශයෙන් වගේම පොලීසියත් පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි සිද්ධි වලින් පේනවා සමාජයේ, විශ්වවිද්‍යාල පද්ධතියේ බැදීම් වල තිබෙන කඩා වැටීම, ඒ තත්වය අපි වෙනස් කරන්න අවශ්‍යයි.

කාලයක් තිස්සේ සැලැස්මක් නැතුව ගිය ආයතන තියනවා ඒවා නැවත ගොඩනගා ගන්න ඕන. මේ යන ගමනට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ශිෂ්ඨත්වයට ආදරේ කරන කෙනෙක්ට අපේ ගමනට විරුද්ධ වෙන්න බෑ. අන්න ඒකයි මේක තවත් එක ඡන්දයක් නෙමෙයි කියන්නේ.

පළමු වතාවට අපේ රටේ පාලකයන් සහ ජනතාව සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජනතාවට පාලකයන් පිලිබඳ විශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ විශ්වාසය රැකගෙන මේ රට හදන්න අපි කැප වෙලා ඉන්නවා.

ඔබෙනුත් බදු,වරිපනම් එකතු කරනවා ඇති. මෙච්චර කල් ඒ මුදල් සාක්කු වලට ගියා යළි ඔබේ මුදල් කාගෙවත් සාක්කු වලට යන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒ මුදල් සේවාවක් ලෙස ඔබටම ලැබෙන්න සලස්වනවා.

අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න යන ගමනක් මෙික. ඒක පැය විසි හතරෙන් කරන්න බැහැ. සැලසුම් සහගතව හරියටම ඒක කරන්න අවශ්‍යයි ඒ නිසා කාලයක් යනවා. රජය මොනවද කරලා තියෙන්නේ කියලා අහන අය ජනතාව ගැන හිතලා නෙමෙයි එහෙම අහන්නේ.

මැයි 7 වෙනිදා ඔබ ලබන ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව සමරන්න, අපේ අලුත් පළාත් පාලන නියෝජිතයින් මහන්සි නිවාගෙන වැඩ කරන්න ලෑස්තිවෙන්න.

කවුරු කළබල වුණත් , කෑ ගැහුවත් රජයට අදාල නෑ. සැලසුමකට අනුව රජය ගමනක යන බවත්, රජය උත්තර⁣ දෙන්නේ ජනතාවට පමණක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත දොඩාවත්ත, අරුණ පනාගොඩ ඇතුළු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය