වෙඩි බෙහෙත් ගබඩා ගම් තුළ ඇති කිරීම අනුමත කළ නොහැකියි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහජනතාවගේ විරෝධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කල් පොලිස්ථාන කීපයක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිතා කරන වෙඩි බෙහෙත් හා පුපුරන ද්‍රවය හංවැල්ල ,දිද්දෙනිය ගම්මානයේ ස්ථාපිත කිරීම සඳහා සීතාවක සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුමත කළ නොහැකි බව සඳහන් කරන ලදී.

ජනතාව ජීවත් වන ප්‍රදේශ තුල පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම තුලින් ජනතාව තුල අනවශ්‍ය බියක් හා කැළඹීමක් ඇතිවිය හැකි බැවින් එවැනි කටයුතු වලට දායක නොවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. එසේම අවිස්සාවේල්ල ඩිපෝවට අයත් බස් විවිධ කරුණු දක්වමින් ප්‍රදේශයෙන් පිට සේවාවන් සඳහා යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමුකල අග්‍රාමාත්‍යවරයා එවැනි කටයුතු ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටුකිරීම රජයේ වගකීමක් බවද පැවසීය.එමෙන්ම අවිස්සාවේල්ල නව නගර ජල යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නංවමින් නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දිය යුතු යැයිද පැවසීය. ජනතාව ඉදිරිපත් කරන සාධාරණ කරුණු පිළිබඳ සවන්දීමේ වගකීම මහජන නියෝජිතයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඇති බවද අවධාරණය කරණ ලදි.

මෙම අවස්තාවට සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ මහතා, නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා ඇතුලු මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය