මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය IMF නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අතර සාකච්ඡාවක් ජූනි 16 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය කරා ගමන් කරන බැවින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී ආචාර්ය ගෝපිනාත් මහත්මියගේ අවධානය යොමු විය.

නව රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද විනිවිදභාවය සහ ක්‍රියාශීලී ප්‍රවේශය අගය කළ අතර, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාමුව, ශ්‍රී ලංකාව හා සමාන මූල්‍ය මෙන්ම ව්‍යුහාත්මක අභියෝගවලට මුහුණ දෙන අනෙකුත් ජාතීන්ට මග පෙන්විය හැකි ව්‍යුහගත ආකෘතියක් ලෙස වර්ධනය වන බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.

වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, බලශක්ති වැනි උපායමාර්ගික ක්ෂේත්‍රවල තිරසාර හා මහා පරිමාණ සංවර්ධනයන්ගේ දීර්ඝකාලීන පැවැත්ම සඳහා තීරණාත්මක වන බැවින් ඒ පිළිබඳ දෙපාර්ශවය පුළුල් ලෙස සාකච්ඡා කළේය.

පාලනය වැඩි දියුණු කිරීම, ආයතන ශක්තිමත් කිරීම සහ රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සියලුම මට්ටම්වල විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම පරිපාලනයේ ප්‍රමුඛතා ලෙස පවතින බවත්, සියලුම ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ පියවරයන් සමස්ථ රටම ආවරණය වන පරිදි සිදුකිරීමත්, ජනතාවගේ සුබසාධනය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරීමටත් රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රම බලකාය වඩා හොඳින් සන්නද්ධ කිරීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු විය.

සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සහතික කළ අතර, රටට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ දිගුකාලීන ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීමට සූදානම් බවද ආචාර්ය ගෝපිනාත් මහත්මිය අවධාරණය කළාය.

ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වන ආචාර්ය මාටින් කෝෆ්මන් (උපදේශක), ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ආචාර්ය පීටර් බ්‍රූවර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් ධර්ෂණ එම්. පෙරේරා, ඇතුළු ශ්‍රි ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.