අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් රාජධානියේ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ සිදුකරන නිල සංචාරය අතරතුර මැයි 20 වන දින එරට අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Rt Hon. Bridget Phillipson) මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය.

ආයතනික හවුල්කාරිත්වයන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සහ සිසුන් මෙන්ම අධ්‍යාපනඥයින් සඳහා අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා පවතින දිගුකාලීන හා ඓතිහාසික සහයෝගීතාව යළි තහවුරු කරමින් ශිෂ්‍ය සංචලතාව (Student mobility), ඒකාබද්ධ වැඩසටහන් සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරිණ.

චෙවනිං ශිෂ්‍යත්ව (Chevening Scholarships) සහ පොදුරාජ්‍ය මණ්ඩලයිය ශිෂ්‍යත්ව ක්‍රමය (Commonwealth Scholarship Scheme) වැනි දැනට එක්සත් රාජධානියේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන වැඩසටහන් ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය, එමඟින් ශ්‍රී ලංකාවේ ධාරිතා වර්ධනයට සිදුවන සැලකිය යුතු දායකත්වය සහ දෙරට අතර දිගුකාලීන පුද්ගල සබඳතා වර්ධනය කිරීමෙහිලා එමඟින් ඉටුවන මෙහෙවර ද පෙන්වා දුන්නාය.

විධිමත් නියාමන රාමුවක් සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට දැනට ගෙන ඇති පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කරුණු පැහැදිලි කළාය. ශාස්ත්‍රීය ප්‍රමිතීන් පවත්වා ගැනීම සහ සිසුන්ගේ අයිතිවාසිකම් මෙන්ම උනන්දුව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සතු අත්දැකීම් සහ ගුණාත්මක භාවිතයන් පිළිබඳව එරට නියෝජිත පිරිස මෙහිදී සිය අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය අධ්‍යාපන මාර්ග ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන පොදු එකඟතාවන්ගෙන් යුතුව මෙම හමුව සාර්ථකව නිමාවට පත් කෙරිණි.

මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ඇතුළු ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය