ප්‍රාදේශීය සභා හා නගර සභා කියන්නේ දූෂිත දේශපාලනයේ පෙර පාසල් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නීතියට පටහැනිව වත්කම් ඉපැයූ සැමට නීතිය ක්‍රියාත්මක කරනවා - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කරලා තියෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ලබා දුන් බවත්, අතීත ප්‍රාදේශීය සභා හා නගර සභා දූෂිත දේශපාලනයේ පෙර පාසල් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කෝට්ටේ රැෆල් හෝටලයේ අප්‍රේල් 22 දින පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"පාර්ලිමේන්තුවට පත් වී සිටින අපේ 159 දෙනාම පවුල් බලයෙන් සල්ලි බලයෙන් පත් වුණ අය නෙවෙයි. ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඔබ අතර ඉන්න මිනිස්සු. ඉස්සර වගේ පාර්ලිමේන්තුව තුළ කෑ ගහන්නෙ ගහගන්නේනෑ. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවන් පැමිණියහම කතානායකට කියන්න අවශ්‍ය වෙන්නේ නෑ ළමයින්ව අයින් කරන්න කියලා. ඒ තරම් විනීතව, නීතිගරුකව හා දේශපාලන පරිණත භාවයකින් යුක්තව අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හැසිරෙනවා.

මෙවැනි පාර්ලිමේන්තුවක් තමයි අපි හැමදාම බලාපොරොත්තු වුණේ. අද ඔබ ඒ වෙනස කරලා තියෙනවා. හොඳට ක්‍රියාත්මක වන කාර්යක්ෂමව වැඩ කරන ප්‍රාදේශීය සභාවක වාසිය මෙතෙක් කලක් අපිට දැනිලා නෑ. ඒ විදිහටම ඔබට ළඟම ආයතනය වෙනස් කරන්න ඔබට සේවය කරන පිරිසක් පත්කර ගන්න.ඒකට අවස්ථාව තමයි දැන් ලැබිලා තියෙන්නේ. " යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා,

"කවුරුහරි නගර සභාවට ගිහිල්ලා සුළු වැටුපක් අරගෙන අවුරුදු දෙක තුනකින් මහා නිවාසයක් හදලා , වාහනයක් අත්පත් කරගෙන තියෙනවා නම් අපි අහනවා කොහොමද එහෙම කරන්නේ කියලා.එයාට ඒකට පිළිතුරු නැත්නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අනීතික වත්කම් අත්පත් කරගන්න කටයුතු කරනවා.

විපක්ෂය නිතරම අපිට බනිනවා චෝදනා කරනවා. නමුත් අපි කිසිම වරදක් කරල නෑ. අපි ජනතාවගේ මුදල් හොරකම් කරලා නෑ, දරුවන්ව පාසලට ගන්න කියලා ලියුම් ඉදිරිපත් කරල නෑ, පොලිසියකට කතා කරලා බලපෑමක් කරල නෑ. මෙවැනි යහපත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරමින් තමයි අපි ජනතාවට සේවය කරන්නේ.

ඔබේ ගම හදන්න නම් දූෂිත නොවන ඔබේ මුදල් සොරකම් නොකරන පිරිසක් ඔබ වෙනුවෙන් පත්කර ගන්න කියලා මම මේ මොහොතේ ඉල්ලා සිටිනවා."

මෙම හමුවට ජාතික ජන බලවේගයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මැතිවරණ අපේක්ෂක අරෝෂ් අතපත්තු මහතා ප්‍රමුඛ අපේක්ෂකයින් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය