ආපදාව වෙනුවෙන් කළ පරිත්‍යාග මුදල් සියල්ල භාණ්ඩාගාරය යටතේ සුරක්ෂිතයි
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි සහ සහන සැලසීමේ කටයුතු ඉහළ ප්රගතියකින් යුතුව ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අපදා සහන සේවා සහ අපදා තත්වය වෙනුවෙන් සිදු වූ පරිත්‍යාග පිළිබඳ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (10) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
තාක්ෂණික හා පරිපාලනමය හේතු මත ඇතැම් සහන සැලසීමේ කටයුතුවල ප්‍රමාදයන් සිදු විය හැකි වුවත්, බාධක අවම කර ගනිමින් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.
විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුකෙරෙන වන්දි ගෙවීම් යටතේ එළවළු, මිරිස්,ළූණු සහ වී වගා හානි සඳහා වන දීමනා මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. එසේම ජීවිත හානි හා පූර්ණ දේපළ හානි වෙනුවෙන් වන දීමනා මෙන්ම සත්ව ගොවිපළ හිමියන් සඳහා වන දීමනා ද මේ වන විට ලබා දී තිබෙනවා. මීට අමතරව, ආපදාවෙන් විපතට පත් වූවන්ගේ සුළු හා ශුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන මූල්‍ය ආධාර ද සැලකිය යුතු මට්ටමකින් ලබා දී අවසන්.
ව්‍යසන කළමනාකරණ පනත යටතේ ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා විසින් කිසිදු ගැසට් නිවේදනයක් නිකුත් කර නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම සේවය පැය 24 පුරා ලබා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව 2025 නොවැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි "විස්තීරණ ආපදා තත්ත්වයක්" ප්‍රකාශයට පත් කළා. එය ගැසට් පත්‍රයක් නොවෙයි. ආපදා සහන සේවා චක්‍රලේඛයක් පමණයි. එසේම ආපදාව සිදුවන විට 2005 අංක 13 දරණ ව්‍යසන කළමනාකරණ පනතේ ආයතනික රටාව පූර්ණ වශයෙන් ස්ථාපිත වී නොතිබූ බැවින්, පැන නැඟුණු හදිසි තත්ත්වයට මුහුණ දීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදන යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තා.
ආපදා තත්ත්වය හමුවේ ලැබී ඇති සියලුම දේශීය හා විදේශීය පරිත්‍යාග මුදල් කිසිදු නීති විරෝධී ගිණුමකට බැර කර නැහැ, ඒවා භාණ්ඩාගාරයේ පාලනය යටතේ පවතින ගිණුම්වල සුරක්ෂිතව පවතිනවා. ඒ නිසා එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව විශේෂ භාණ්ඩාගාර ගිණුමට දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 7යි මිලියන 599ක් සහ විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11යි දශම 5ක් ලැබී තිබෙනවා. මෙම සියලුම අරමුදල් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සලකා බලමින්, ඉතා විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතුව ඉදිරියේදී යෙදවීමට නියමිතය.
මෙම ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන්ම ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීම, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා කඩිනමින් නැවත නඟා සිටුවීම වෙනුවෙන් පමණයි උපයෝගී කර ගන්නේ.
හානියට පත් නිවාස අතරින් සමහරක් අනවසර ඉඩම්වල සහ රජයට අයත් ඉඩම්වල පිහිටා තිබීම හේතුවෙන් ගැටලු රැසක් පැනනැඟී තිබෙනවා. ඇතැම් නිවාස නායයෑම් ඇතුළු අවදානම් සහිත කලාපවල පිහිටා ඇති බැවින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් එම ස්ථානවලින් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා. එම නිවාස සහ ඉඩම් පිළිබඳ ගැටලු එකින් එක විසඳා නැවත පදිංචි කිරීම් සිදු කිරීම වසරක් පමණ ගත වන දීර්ඝ ක්‍රියාවලියක්. මීට අමතරව, ස්ථිර නිවාස අහිමි වූ පිරිස්වලට කුලී නිවාසවල හෝ ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටීම සඳහා රජය විසින් දීමනාවක් ලබා දී තිබෙනවා. එම පහසුකම් ද නොමැති පිරිස් වෙනුවෙන් තාවකාලික නිවාස ව්‍යාපෘතියක් (Transitional Housing Project) ආරම්භ කර එහි කටයුතු ද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් සම්පූර්ණ කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය