මට විශ්වාසයි මේ දරුවෝ එම කාර්යය හොදින් ඉටු කරයි.
ගසක් සිටුවීම සංකේතාත්මක වැඩක් විතරක් නොවී එය හොදින් රැකබලා ගැනීම සිදු කල යුතු බවත් අනාගත පරපුරට වෙනුවෙන් එම ශාක රැක ගැනීම වර්තමාන පරපුරේ වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
"සොබා සිප්වදුල" ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළාය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් පරිසරයට ආදරේ කරන සංවේදී පරපුරක් බිහි කිරීමේ අරමුණෙන් සිදුකෙරෙන "සොබා සිප්වදුල" ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ඔක්තෝබර් 02 දින කොළඹ හින්දු විද්‍යාලයීය රත්මලාන පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත නියෝජනය කරමින් පාසල් භූමිය තුළ අග්‍රාමාත්‍යවරිය අතින් නා පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව එම පරිශ්‍රයේ දී පාසල් දරුවන් විසින් ද එකවර පැළ 100ක් රෝපණය කෙරිණ.
තෝරාගත් පාසල් 50ක හරිත කලාප සංවර්ධනය කිරීමේ අරමුණෙන් දියත් කරන මෙම වැඩසටහනට සමගාමීව ඉතිරි පළාත් 08 හිම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන එකම මොහොතේ ආරම්භ කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අද දවස උදෙන්ම පටන් ගන්න පුළුවන් වුණේ පාසලක් තුල පැලයක් හිටවලා. අද දවසට හොද ආරම්භයක් මට ලබා ගන්න පුළුවන් වුණා. අද මට හරි සුන්දර දවසක්.
අපේ රජය පිහිටවන විට අප ඔබ සියළු දෙනාටම පොරොන්දු වුණේ අපි එකතු වෙලා මේ රට වෙනස් කරමු කියලා. රට වෙනස් කරනවානම් එම පරිවර්තනීය ගමනට පුරවැසියන් විදියට සැමට එකතුවෙලා වැඩ කරන්න පුලුවන් ව්‍යාපාරයක් තමයි Clean Sri Lanka කියන්නේ.
Clean Sri Lanka ව්‍යාපාරයට අරමුණු තුනක් තිබෙනවා. අපිට ජීවත් වෙන්න සුදුසු සමාජයක් ගොඩනගන්න අපි තුල තිබිය යුතු ගුණාංග හා වටිනාකම් වර්ධනය කරන්න මෙම අරමුණු දායක වෙනවා.
අද අපි මේ එකතු වෙලා කරන වැඩසටහන තුළ මෙම ගුණාංග සියල්ල ඇතුලත් වෙලා තිබෙනවා. අපි සමාජය සමඟ ගොඩනගාගෙන තිබෙන වටිනාකම් නිසා පාසල් දරුවන් මෙම රුක් රෝපණ වැඩසටහනට එකතු කර ගත්තේ. පරිසරයත් සමඟ බද්ධ වී අපි ජීවත් වන පරිසරය රැක ගැනීමේ වගකීමක් අපිට තියෙනවා.
මෙය හරහා දරුවන් තුළ ආචාරධර්ම ගොඩනැගෙනවා. අපිට වගකීමක් තියෙනවා අපි ජිවත් වෙන පෘථිවිය රැකගන්න. ඊලග පරම්පරාවට මීට වඩා හොද විදියට මේ පරිසරය භාර දෙන වගකීම අපි තුළ තිබිය යුතුයි.
පරිසරය තුළ අපි කතා කරන සංකල්පයක් තිබෙනවා තිරසාර පරිසරයක් (Sustainable Environment) කියන දේ. අපේ සංවර්ධනය තිරසාර කර ගත යුතුයි. තිරසාර කියන දේ ප්‍රධාන අදහස තමයි අපි අද මේ මොහොතේ කරන සියලු දේ අනාගත පරපුර ගැන ද සිතා කළ යුතු වීම. ඒ පරම්පරාවට භාර දෙන්න පුළුවන් ලෝකයක් අපි බිහි කිරීම අපේ වගකීමක්.
තිරසාර අනාගතයක්, තිරසාර ගමනක් යාමට පුරවැසියන් හැටියට වයස් බේදයකින් තොරව ඔබ සියළු දෙනා මෙවැනි වැඩසටහන් තුළට එක් කර ගන්නවා.
ගස් හිටවලා අහක බලා ගන්න එක නෙවෙයි අපි කරන්න ඕනෑ. මේ පාසලට ඉදිරියේ ඇතුළත් වන ඔබ වගේම ශිෂ්‍යයන් වෙනුවෙන්, ඊලග පරම්පරාවට සෙවන දෙන ගස් බවට පත් කර දිමට ඒවා රැක බලා ගැනීම ඔබ සියලු දෙනාම හොඳින් කරයි කියලා මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි වාසනාවන්තයි. විශාල ජෛව විවිධත්වයක් තිබෙන රටක් අපිට තියෙන්නේ. අපේ රට හරිම සුන්දරයි. එසේ වීමට ප්‍රධාන හේතුව තමයි අපේ පරිසරය. අපි ඒවා ආරක්ෂා කර ගත යුතුයි. අපි පොළවට, වතුරට එකතු කරන විෂ දේවල් ගැන සංවේදී වෙන්න. අපි ගමන් බිමන් යාමේ දී ප්ලාස්ටික් බෝතල්, ෂොපින් කවර රැගෙන ගොස් බැහැර කරන ක්‍රමවේදයන් ගැන කල්පනා කරන්න. මේ සියල්ල පරිසරය සමඟ සම්බන්ධයි. මේවා හරහා තමයි අපි අපේ මේ පරිසරය දූෂණය කරන්නේ. මිනිසාම තමයි පරිසරය විනාශ කරන්නේ. ඒ මිනිසාටම පුළුවන් පරිසරය ආරක්ෂා කරලා පරිසරය විනාශ වෙන එක වලක්වන්න.අපි විසින්ම අපේ පරිසරය ආරක්ෂා කරන තැනට මේ සමාජය දියුණු කරමු. Clean Sri Lanka ව්‍යාපාරයේ අරමුණ මේ රට දියුණු රටක් කිරීමයි.
මනුෂ්‍ය මැදිහත් වීම තුළින් අපි සෑම විටම උත්සහා කරන්න ඕනේ මේ රට ආපස්සට යැවීම නෙවෙයි දියුණු තැනකට ගෙන ඒමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාම එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසූවාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා, සමන්මලී ගුණසිංහ මහත්මිය, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩී සිරිපාල මහතා, කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එස්.වී වීරසේකර මහතා, කොළඹ හින්දු විද්‍යාලයීය රත්මලාන පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය