ආගමික කරුණු සම්බන්ධ සියලුම මොඩියුල සමාලෝචනය සඳහා ආගමික කමිටු වෙත ඉදිරිපත් කර සමාලෝචනය කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආගමික කරුණු සම්බන්ධ සියලුම මොඩියුල සමාලෝචනය සඳහා ආගමික කමිටු වෙත ඉදිරිපත් කර සමාලෝචනය කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රජය විසින් ආ 2026 ජනවාරි මස සිට 01 සහ 06 ශ්‍රේණි සඳහා ආරම්භ කරන අධ්‍යාපන හා විෂයමාලා ප්‍රතිසංස්කරණ පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළා ය.

ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පත් කරන ලද සියලු කමිටු සඳහා දෙමළ භාෂාව කතා කරන සාමාජිකයින් නියෝජනය වන බවත්, සංකල්ප පත්‍රිකාව සැකසීමට සහ විෂයමාලා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට විශේෂඥයින් 100කට අධික පිරිසක් මේ වන විට එම ක්‍රියාවලියේ නිරතව සිටින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන අතර, ක්‍රියාවලිය පුරා ඇතුළත් වීමේ සහ සාධාරණත්වය සහතික කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

ඉතිහාසය විෂයට ඓතිහාසික අන්තර්ගතයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික සිදුවීම් හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් යම් විකෘති කිරීම් හෝ බැහැර කිරීම් තිබේ නම්, ඒවා අමාත්‍යාංශය තුළ ඇති ආගමික උපදේශක කමිටුවට අනුව සමාලෝචනය කර විසදීමට කටයුතු කරන බවත් ආගමික කරුණු සම්බන්ධ සියලුම මොඩියුල සමාලෝචනය සඳහා මෙම කමිටු වෙත ඉදිරිපත් කර ඒවායේ යෝජනා ප්‍රකාශනයට පෙර ප්‍රවේශමෙන් ඇතුළත් කරනු ලබන බවද පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය