අග්‍රාමාත්‍යතුමිය SAARC Heritage Forum 2025 සමාරම්භක උළෙල සඳහා සහභාගී වෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කොළඹ ජාතික කෞතුකාගාරයේ දී පැවැත්වෙන SAARC Heritage Forum 2025 තෙදින වැඩමුළුවේ සමාරම්භක රැස්වීම සඳහා අද දින (සැප්. 30) සහභාගී වූවාය. ශ්‍රී ලංකා රජයේ සහාය ඇතිව SAARC සංස්කෘතික මධ්‍යස්ථානය (SCC) සංවිධානය කළ මෙම වැඩමුළුව කලාව, සංස්කෘතිය, උරුම ස්ථානයන්, කෞතුකාගාර සහ සංරක්ෂිත ගොඩනැගිලි ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම අරමුණ කරගනිමින් සැප්තැම්බර් 30 දින සිට ඔක්තෝබර් 02 දින දක්වා පැවැත්වීමට නියමිතය.

SAARC Heritage Forum 2025 යනු දකුණු ආසියාවේ දියුණු සම්ප්‍රදායික උරුමය සුරැකීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, පුරාවිද්‍යා, සංස්කෘතික උරුමයන් සහ කෞතුකාගාර ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්, වෘත්තිකයින් සහ ගවේශකයන් සමඟ එම කතිකාවත පෝෂණය කිරීම, දැනුම බෙදාගැනීම, නවෝත්පාදනයන් දිරිගැන්වීම සඳහා වන වේදිකාවකි. එහි දී SAARC උරුම ලැයිස්තුව (SAARC Heritage List) හා ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශයන් සකස් කිරීමත්, ප්‍රධාන බෞද්ධ ඓතිහාසික ස්ථානයන් සම්බන්ධ කරන සංස්කෘතික ගමනාන්තයන් නිර්මාණය කිරීමත් සහ හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගම් සම්බන්ධ පූජනීය ස්ථාන වෙත ප්‍රවේශයන් සඳහා සහය දැක්වීමත් සිදු කරයි.

සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සම්ප්‍රදායික උරුමය සුරැකීම හා SAARC සංවිධානය සමග පවතින සහයෝගය ගොඩනැංවීමේ දී, කලාපයේ එකමුතුභාවය, කලාපීය ශක්තිමත්භාවය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් කර ගැනීම සඳහා ක්‍රියාත්මකවීම හා එම දැක්ම වෙනුවෙන් රජයේ කැපවීම අවධාරණය කළාය. එමෙන්ම, මෙම මණ්ඩපය චක්‍රීය නායකත්ව පදනමක් හා අඛණ්ඩ සහභාගීත්වයක් සහිත වාර්ෂික වැඩසටහනක් ලෙස ආයතනගත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් වගවීම විශේෂයෙන් අවධාරණය කළාය.

මෙම වැඩසටහනේ අරමුණ සහ ප්‍රතිඵල යථාර්ථවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කරමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, “අපගේ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුත්තේ පෞරාණික සම්පත් ලෙස පමණක් නොව, අපගේ අනන්‍යතාව, අපගේ හඬ අන්තර්ගත වූ සංවර්ධනයට දායක වන සම්පත් ලෙස” යැයි ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පකිස්තාන් මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහිම්-උල්-අසීස් මහතා, බංගලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් මහතා, මාලදිවයිනේ මහ කොමසාරිස් මසුද් ඉමාද් මහතා, නේපාලයේ තානාපති පූර්ණ බහදුර් මහතා, SAARC සංවිධානයේ නියෝජිතයන්, SAARC සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කෞෂල්‍යා කුමාරසිංහ, යුරෝපා සංගමයේ නියෝජිතයන්, ඇමරිකා තානාපති කාර්යාල නියෝජිතයන් සහ එම ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ගවේශකයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය