ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දී තිබෙන නිර්දේශ අනුව හා ගුරුසේවා ව්‍යවස්ථාව අනුව තරඟ විභාගයකින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා සියලු පාර්ශවයන් එකඟ වී තිබෙන බව හා බඳවා ගැනීමේ දෙවැනි අදියරේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේදී පාසැල්වල සේවයකරන සංවර්ධන නිලධාරීන්ට වාසි සහගත විශේෂ අවස්ථාවක් උදාවෙන බව අග්‍රාමාත්‍යතුමිය අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අගමැතිතුමිය මෙසේ ප්‍රකාශ කළාය .
අධිකරණ නීති කෘත්‍යයේ අවසාන නියෝගයට යටත්ව හා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව සංවර්ධන නිලධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට එක්වීමට අවස්ථාව සලසා දීමට හැකිය.
තරග විභාගය සඳහා අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් අයදුම්කරුවන්ගේ උපරිම වයස අවුරුදු 40 සීමාව මේ අවස්ථාවට පමණක් වයස අවුරුදු 45 දක්වා වෙනස් කිරීමට නියම කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දු ප්‍රකාරව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් බඳවා ගැනීම් සඳහා වයස් සීමාව සංශෝධනය කරමින් වෙන වෙනම විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3.1.ආ ශ්‍රේණියට ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවද අගමැතිතුමිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය