2025 වසර සඳහා වන දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවයට අගමැතිනිය සහභාගී වෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝම්බර් 01 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති 2025 වසරේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දෙදිනක් පුරා පැවැත්වුණු මෙම දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ සම්මන්ත්‍රණය (CAS), දේශගුණික විපර්යාසයන්ට අනුගතවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) සහ UNDP සමඟ එක්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි. වැව්ගම් පුබුදුව නමින් හැඳින්වෙන මෙම සත් අවුරුදු ව්‍යාපෘතිය මඟින් Green Climate අරමුදලේ සහාය ඇතිව දිස්ත්‍රික්ක හතක් ආවරණය කරමින් දේශගුණික විචල්‍යතා සහ ආන්තික සිදුවීම්වලට වියළි කලාපයේ කුඩා වතු හිමියන්ගේ අනුගතවීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කර තිබුණි.

2025 වසර සඳහා CAS තේමාව වූයේ “දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඒකාබද්ධ සම්පත් කළමනාකරණය: ප්‍රජාවන් පරිවර්තනය කිරීම සහ ප්‍රතිපත්ති හැඩගැස්වීම” යන්නයි.

මෙම සම්මන්ත්‍රණය මඟින් ශ්‍රී ලංකාව තුළ සිටින කෘෂිකර්මාන්තය (බෝග, පශු සම්පත්, මාංශ, ජලජීවී වගාව), පානීය ජලය, කාලගුණ විද්‍යාව, ආපදා කළමනාකරණය සහ පාරිසරික විද්‍යාවන් පිළිබඳ ප්‍රවීණයින් සහ විශේෂඥයින් එකම වේදිකාවකට පැමිණ, ජල කළමණාකරණය සහ දේශගුණයට අනුගතවීමේ හැකියාව පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවතක නිරත විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හවුල්කාරිත්වය ඇතිව සිදු කළ මෙම දේශගුණික විපර්යාසයන්ට අනුගතවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) සහ ඊට සමගාමීව සිදුකළ පර්යේෂණ කටයුතු හරහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට, පර්යේෂකයන් සහ සංවර්ධන වෘත්තිකයන් සඳහා තම පර්යේෂණ සොයා ගැනීම ඉස්මතු කිරීමට අවස්ථාව සැලසිනි.

ප්‍රධාන දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍යවරිය, 2025-2030 නව ජාතික දේශගුණික මූල්‍ය උපායමාර්ගය යටතේ ඉහළ යන දේශගුණික මූල්‍යකරණයේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර ග්‍රාමීය සංවර්ධනය, දේශගුණික-ස්මාර්ට් කෘෂිකර්මය, පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, ආපදා සඳහා සූදානම සහ හරිත වර්ධනය ඇතුළු ප්‍රමුඛතා ක්ෂේත්‍ර පිළිබඳ තවදුරටත් පැහැදිලි කළාය. මේ තුළින් හඳුන්වා දුන් ගෝලීය දේශගුණයට අනුගතවීමේ හැකියාව පිළිබඳ ආදර්ශයන් ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රජා මට්ටමේ විසඳුම් සඳහා යොදා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය දේශගුණික ක්‍රියාකාරකයින් හට ආරාධනා කළා ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ , UNDP නේවාසික නියෝජිත Asuza Kubota; අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ, චන්දන එදිරිසූරිය සහ ක්ෂේත්‍රයේ නිලධාරීන්, විද්වතුන් සහ වෘත්තිකයන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය