අග්‍රාමාත්‍යවරිය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා සමඟ අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක

පුරවැසිභාවය, ආචාර ධර්ම සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා වන Julian Hill මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් 2025 දෙසැම්බර් 10 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

මෑතක දී මුළු දිවයිනට ම බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව, මානුෂීය ආධාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 3.5 ක මූල්‍යමය දායකත්වය සඳහා අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා ය. දැනට අතුරුදහන් වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවත්, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් රට යථා තත්ත්වයට පත්වීමේ ඊළඟ අදියර ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධන සහයෝගීතාව, ආර්ථික හා වෙළඳ සබඳතා, සංචාරක, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගීතාව කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඕස්ට්‍රේලියනු රජය විසින් ලබා දී ඇති දිගුකාලීන සහයෝගීතාවය අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කරන ලදී.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අවධාරණය කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමුඛතා සහ පුළුල් සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස සිය සහාය ලබා දීමට කටයුතු කරන බව ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Matthew Duckworth, පළමු සහකාර ලේකම් Karen Ann Sandercock, කාර්ය මණ්ඩල ප්‍රධානී Cameron Geoffrey Green, කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අප්සරා කල්දේරා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය