එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක Marc - Andre Franche ඇතුළු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජිතයින් අතර හමුවක් අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රි ලංකාවේ සාමය පවත්වා ගැනීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ආරක්ෂා කිරීම, සෞඛ්‍ය, පාලනය සහ මුළ්‍යකරණය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා බලගැන්වීම, අධ්‍යාපනය, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම, දේශගුණික විපර්යාස, කෘෂිකර්ම, ධීවර යන අංශ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ලබා දී ඇති ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ළමාහිංසනය පිළිබඳ කමිටු වාර්තාවට අදාල ව රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහය ලබා දීමට සුදානම් බවද මෙහිදී UNICEF නියෝජිතයින් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්සත්ජාතීන්ගේ ළමා අරමු⁣දලේ නියෝජිත Andreas Karpati, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය