ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සහ ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.

අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ කෘෂිකාර්මික ජීවනෝපායන් නැවත ගොඩනැඟීම ඇතුළුව රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී රජයේ කාර්යභාර්යය අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළ අතර ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දෙන ලද සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ ව ද තවදුරටත් පැහැදිළි කළාය.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ආයෝජන වැඩි කිරීම සහ කසකස්ථානයෙන් පැමිණෙන සංචාරක පිරිස වැඩි කිරීම සහ ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.

කසකස්ථාන් ජනරජයේ ⁣ තානාපති කාර්යාලය නියෝජනය කරමින් දූත මණ්ඩල ප්‍රධානී Rustem Jamankulov, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ සහ අධ්‍යක්ෂ ඉරෝෂා කුරේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය