ගෝලීය අර්බුද හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදී, එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගෝලීය අර්බුද හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදී, එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම උත්සාහයක්ම රජය ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹදී පැවති ’ONE Tata Sri Lanka Cyclone Ditwah and Floods Response Programme’ යටතේ, ’දිට්වා’ (Ditwah) සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙත පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

Tata සමූහය විසින් ChildFund සහ DIMO ආයතනය සමඟ එක්ව සංවිධානය කළ ’Hope in a Backpack’ වැඩසටහන යටතේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා අතින් සිසුන් වෙත පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කෙරිණි.

අනතරුව උත්සව සභාව අමතමින් ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ දෙරටේ සංවර්ධනය වෙනුවෙන් පවතින පොදු අපේක්ෂාවන් හා සහයෝගීතාව පිළිබඳව අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, මෙවැනි වැඩසටහන් මඟින් අර්බුදකාරී අවස්ථාවන්හිදී රජයන්, සංවර්ධන හවුල්කරුවන්, මානුෂීය සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජාවන් එකමුතුව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ලොවටම ආදර්ශයක් වන බවයි.

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හානිවලින් ජනතාව මුදාගෙන යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දිය යුතු බවත්, අනාගතයේදී මෙවැනි ආපදා හමුවේ ප්‍රජාවන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදී, එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා රජය සෑම උත්සාහයක්ම ගන්නා බවට සහතික විය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා, DIMO ආයතනයේ සභාපති රංජිත් පණ්ඩිතගේ යන මහතවරුන්, DIMO, TATA සහ ChildFund ආයතනවල නියෝජිතයින්, පාසල් දරුවන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය