අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ද පරිසර හිතකාමි පාසලක්, පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම අපේ ඉලක්කයක්.
රජයේ ජාතික දැක්ම, සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන තිරසර පරිසරයක් ගොඩනැගීම බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ද පරිසර හිතකාමි පාසලක්, පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම අපේ ඉලක්කය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අභිනව මූන් අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (28) එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වසර 200ක අභිමානවත් උද්භිද විද්‍යා ඉතිහාසය සැමරීම වෙනුවෙන් අභිනවයෙන් විවෘත වූ මෙම මූන් අනුස්මරණ උද්භිද කෞතුකාගාරය, උද්‍යානයේ නිර්මාතෘවරාය වන ඇලෙක්සැන්ඩර් මූන් මහතා අනුස්මරණය කිරීමේ අරමුණින් ඉදි කෙරිණ.
සෑම දිනකම උදැසන 9.00 සිට සවස 3.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන මෙම උද්භිද ශාක කෞතුකාගාරය හරහා සුවිශේෂී ශාක, ශාක නිදර්ශක, ආර්ථික බෝග, ශාක ඉතිහාසය හා එහි ගමන් මාර්ගය මෙන්ම අනෙකුත් විදේශ ශාක කෞතුකාගාරවලට සමාන්තරව දේශීය ජනතාවට, පාසල් සිසුන්ට දැනුම ලබාදීම සඳහාත්, ස්ථානීය සංරක්ෂණය (Incitive Conservation) ඇතුළු ශාක පද්ධතිය පිළිබඳ පුළුල් දැනුමක් ජනතාව අතර සමාජගත කිරීමත් මූලික අරමුණයි.
කෞතුකාගාරය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය විසින් උද්‍යානය තුළ පිණි බෙරළිය ශාකයක් සංකේතාත්මකව රෝපණය කළාය.
මූන් කෞතුකාගාරය මඟින් සිදුවන ශාක පිළිබඳ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීම සහ එම පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත් කාර්යභාරය සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තුළ පර්යේෂණ කටයුතු සඳහා මෙමගින් ලැබෙන දායකත්වය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, සංචාරක ක්ෂේත්‍රය සඳහා මෙමගින් ලැබෙන දායකත්වය පිළිබඳව ද අවධාරණය කළා ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
" ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විදිහට අපේ ජාතික දැක්ම සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන තිරසර පරිසරයක් ගොඩනැගීමයි.
ඒ සඳහා අපේ රටට වෙනස් නායකයින් වගේ ම වෙනස් ජනතාවක් අවශ්‍යයි. ඒ ජනතාව මේ රටේ පරිසරයට ,සතුන්ට,සාගරයට විශාල ආදරයක් දක්වන සංවේදී මනුෂ්‍ය කොට්ඨාසයක් විය යුතුයි. ඒ වෙනස් ජනතාව නිර්මාණය කරන්න පුලුවන් ජාතික පුනරුදයක් ඉලක්ක කරගත් කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රබල පරිවර්තනයක් සිදුකිරීමෙන් බව අපි විශ්වාස කරනවා. අපි අපේ රට තුළ බහුවිධ සංස්කෘතීන් පිළිගන්නා, නිවහල්, විචාරශීලී , මානව ගරුත්වයෙන් යුතු නව සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කරන්නේ නම් ඒ මිනිසා නිසැකවම දිවි හිමියෙන් තමන්ගේ උරුමය වූ ස්වාභාවික පරිසරය රැකගනීවි.
අපේ රටේ ශාක උරුමයන් දකින්න, අධ්‍යයනය කරන්න, පර්‍යේෂණ කරන්න වගේම අපේ අනාගත පරපුර වෙනුවෙන් රැකගන්න හොඳම අවස්ථාවක් ලෙස අදින් ඇරඹෙන ඇලෙක්සැන්ඩර් මූන් කෞතුකාගාරය හඳුන්වන්න පුලුවන්.
ඒ වගේම මෙම කෞතුකාගාරය වැදගත් සංචාරක නැවතුමක් ලෙස මුළු ලෝකයේ ම ආකර්ශණය හා අවධානය දිනා ගනිමින් ඒ හරහා පේරාදෙණිය උද්භිද උද්‍යානය වෙත පවතින සංචාරක වටිනාකම් තව තවත් වර්ධනය වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා." යනුවෙන් පැවසී ය.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පරිසර හිතකාමි පාසලක්, පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම රජයේ විශේෂ ඉලක්කයක් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා,
ප්‍රධාන උද්භිද උද්‍යාන පහට එහා ගොස් එය පුළුල් කිරීම මෙන්ම විශේෂ දේශගුණික කලාපයන් අනුව මෙම උත්භිද උද්‍යාන පිහිටුවීම සඳහා උත්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය කටයුතු කරන බව ද සඳහන් කළේය..
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, පරිසර නියොජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා, පරිසර අමාත්‍යංශ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා, සහ උද්හිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.සී .පී. ජයවීර මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය