පාර්ලිමේන්තුවේ සැබෑ ජනතා සේවය සිදුවන්නේ කාරක සභා තුළයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාර්ලිමේන්තු සභාගර්භය තුළ පසුගිය කාලයේ සිදු වූ සංවාද හා විවාද පිළිබඳව ජනතාව තුළ යම් යම් කලකිරීම් පැවති බවත්, අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙමින් විශාල හා වැදගත් කාර්යභාරයක් පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය හරහා සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජූලි 21 වන දින පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

සභාගර්භය තුළ දත්ත හෝ තොරතුරු රහිතව පදනමකින් තොරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගන චෝදනා නිසා පාර්ලිමේන්තුව පිළිබඳ අප්‍රසන්න හැඟීමක් ජනතාව තුළ නිර්මාණය කරනවා. නමුත් මුදල් පාලනය, මුදල් අවභාවිතයන් වැළැක්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභා ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව තුළින් වෙනත් කිසිදු තැනකින් සාධාරණයක් ඉටු නොවූ රටේ සාමාන්‍ය පුරවැසියන්ට මහජන නියෝජිතයින් හරහා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කර විසඳුම් ලබාගත හැකි වැදගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම කාරක සභාව මගින් ලබාදෙන නිර්දේශ නිශ්චිත කාලසීමාවක් සහිතව ලබාදීමත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් නැවත කැඳවා පසු විපරමක් කිරීමත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවධානය යොමු විය යුතුයි.

ඒ වගේම කාරක සභාව හමුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් මෙය වදයක් හෝ කරදරයක් ලෙස නොසැලකිය යුතුයි. ජනතාවගේ ඡන්දයේ සහ බදු මුදල්වල වටිනාකම රැකෙන මෙහි වගකීම ඒ නිලධාරීන් බැරෑරුම් ලෙස භාරගත යුතුයි. මහජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යන පාර්ලිමේන්තුව සහ මහජන නියෝජිතයින්ගේ කාර්යභාරය පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සංවාදයක් ඇති කිරීමත් මෙවැනි කාරක සභා විවාද හරහා සිදුවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය