බංග්ලාදේශ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් (Humaiun Kobir) මහතා ඇතුළු දූත පිරිස 2026 නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ සිහිපත් කළාය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ දේශපාලන පරිවර්තනවල පවතින සමානකම් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, දෙරටෙහි දේශපාලන හා පාලන ක්‍රියාවලියේ සිදුවන වෙනස්කම් සැළකිල්ලට ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
යහ පාලනය (good governance) ප්‍රවර්ධනය කිරීම, සමාජ සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් රජයේ ’ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ’ප්‍රජාශක්ති’ ඇතුළු රජය විසින් ගෙන යන වැඩසටහන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.
එමෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ වැදගත්කම සහ තිරසර බලශක්ති විසඳුම් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
සියලු දෙනා ඇතුළත් වන සංවර්ධනයක් වෙනුවෙන් රජයේ කැපවීම පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, ජනතා සහයෝගය මත වත්මන් රජය බලයට පත්වූ බවත්, සංවර්ධනයේ ප්රතිලාභ සමාජයේ සියලුම ජන කොටස් වෙත ළඟා කරවීම සඳහා රජය කැපවී සිටින බවත් සඳහන් කළාය.
2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ’එක්ස්පෝ ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස බංග්ලාදේශ ආයෝජකයින්ට සහ ව්‍යාපාරික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමිය ආරාධනා කළ අතර, දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික ආයතන අතර සෘජු සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට හැකි අවස්ථා පිළිබඳව ද අවධාරණය කළා ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා සලාහුදීද්න් මහමුද්, බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ අධ්යක්ෂ ජනරාල් ෂා අසිෆ් රහ්මාන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය