කැනඩාව සහ පිලිපීනය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු අග්‍රාමාත්‍යතුමිය හමුවෙති.

කැනඩාව සඳහා නම් කරන ලද මහ කොමසාරිස් රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනය සඳහා නම් කරන ලද තානාපති අන්සුල් බානු ජාන් මහත්මිය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර, එහිදී ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා අග්‍රාමාත්‍යතුමිය සිය සුබපැතුම් පිරිනැමුවාය.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ අධ්‍යාපන ආයතන අතර හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය කැනඩාව සඳහා නම් කරන ලද මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළාය.

එමෙන්ම, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද සඳහන් කළාය.

වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා ගවේෂණය කරන ලෙස අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පිලිපීනය සඳහා නම් කරන ලද තානාපතිවරිය දිරිමත් කළ අතර, විශේෂයෙන් එම ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ ආයතනික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

තවද, පර්යේෂණ, තාක්ෂණ හුවමාරුව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය ද සහභාගි වූවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය