කාන්තාවන්ගේ ශ්‍රමය ඇගයෙන සාධාරණ සමාජයක් සහ සුරැකුම් ආර්ථිකයක් වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක්, (National Care Policy ) සැකසීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික සුරැකුම් පද්ධතියක් සකස් කළ යුතු බවට වන යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් අද ( 05) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ,
“අද දින කාන්තා දිනය වෙනුවෙන් කාන්තා සංසදය ලෙස ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක් යෝජනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව ඇත්තටම ඉතාමත්ම සතුටු වෙනවා. විශේෂයෙන් මට එය සතුටට කාරණයක් වෙන්නේ අවුරුදු හයකට ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවේ මගේ මංගල කතාව කරන අවස්ථාවේ සුරැකුම් ආර්ථිකය ගැන මම කතා කරන විට මේ පාර්ලිමේන්තුව තුළ හිටියේ මන්ත්‍රීවරියන් කිහිපදෙනයි. මම හිතන්නේ එදා ඒ මාතෘකාව කතා කිරීමත් අලුත් දෙයක් වුණා.
නමුත් අද මම සතුටු වෙනවා අවුරුදු හයකට පසුව මේ මාතෘකාව කතා කරන්න අපිට ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සිටීම පිළිබඳව. ඒ සංවාදය කොයිතරම් දියුණු වෙලා ද කියනවා නම් අද වනවිට අපේ ජාතික ප්‍රතිපත්තියක් දක්වා යෝජනා ගෙන ආ හැකි ආකාරයට ඒ මාතෘකාව පිටත සංවාද තුළත් පාර්ලිමේන්තුව තුළත් මෙලෙස ශක්තිමත් වී තිබෙනවා.
පළාත් පාලන ආයතනවල නායකත්වය හොබවමින් , ප්‍රජා සංවිධාන, රාජ්‍ය සේවය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතුළු සියලුම ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇති වටපිටාවක මෙවැනි තීරණාත්මක හා අතිශයින්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව සංවාදයක් ගොඩනැගීම ඉතාවැදගත්.
කාන්තා සහභාගිත්වය පොදුවේ මේ ක්ෂේත්‍ර තුළ දියුණු කර ශක්තිමත් කිරීමට නම්, කාන්තා සහභාගිත්වය පිළිගනිමින් ඇයට පුරවැසියෙක් ලෙස සියලුම ක්ෂේත්‍ර තුළ සමානවත්, ගෞරවණීය ලෙසත්, ඇයගේ අභිමතය අනුව සහභාගි වීමට ඇති අයිතිය පිළිගනිමින් ඒ වෙත පවතින ප්‍රධාන බාධක ඉවත් කිරීමට මැදිහත් විය යුතු යි.
කාන්තා දේශපාලනය වෙත වැඩි අවධානයක් යොමු වී ඇති මේ කාල වකවානුව තුළ කාන්තාවන්ට පුරවැසියන් ලෙස සමාජය, දේශපාලනය හා සංස්කෘතිය තුළ බියක් නැතිව ගෞරවණීය ලෙස මැදිහත් වීමට නම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවකාශ තළ ද ඇගේ ගෞරවණීය බව රැකෙන ආරක්ෂාව තහවුරු වන ලෙස එම අවකාශ සංවිධානය වීම පිළිබඳව ද අවධානය දිය යුතුයි. ඒ වගේම එය නීතිය භාවිතයෙන් නොව වෙනස් සමාජ පරිවර්තනයක් තුළ සිද්ධ විය යුතුයි. ඒ සමාජ පරිවර්තනය තුළ කාන්තාවන්ට යුක්තිය සාධාරණය ලැබිය යුතු, සියලු දෙනාට පුරවැසියන් ලෙස ගෞරවණීය හා සුරක්ෂිත ලෙස සමාන අවස්ථා සහිත සමාජයක් බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය