2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නොවැම්බර් 02 වනදා පැවැත්වුණු “The Value of Vision” - ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට සහභාගී වූවාය.
අනතුරුව එහි පැවති ඉහළ පෙළ නියෝජිත සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ අක්ෂි සෞඛ්‍යයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්, සැමට සෞඛ්‍ය රැකවරණය ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් පෙනී සිටිනවා.
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය පහසුකම් ලබාදීම දීර්ඝ කලයක සිට පවතින ජනතා පරමාධිපත්‍ය වගේම කැපවීම මත සිදු වුණා. ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය සේවාව ද ගොඩනැගී තිබෙන්නේ ඒ අනුවයි.
අක්ෂි සෞඛ්‍යය කියන්නේ හුදු සමාජයීය පිරිවැයක් නෙමෙයි, මානව සම්පත වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ලෙස අප හඳුනාගත යුතුයි.
එහිදී දරුවන් සහ තරුණ පරපුර වෙනුවෙන් අපගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ජාතික පාසල් සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව 1, 4, 7 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ පෙනීමේ ආබාධ හඳුනාගැනීමේ පරීක්ෂණ පවත්වන අතර ම අවශ්‍ය සිසුන්ට නොමිලේ ඇස් කණ්නාඩි සහ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් කටයුතු කරනවා.
මීට අමතරව, ජනාධිපති අරමුදල මගින් ඇස් කණ්නාඩි අවශ්‍ය සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ඒවා ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර 2026 ඔක්තෝබර් 17 වනදා සාර්ථකව ක්‍රියාත්මක කළ බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
වළක්වා ගත හැකි පෙනීමේ ආබාධ සඳහා පිළියම් යෙදීම, අක්ෂි සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ ඒ සඳහා වන ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවෙන් අනතුරුව, පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සහ ව්‍යාපාරික විධායකයින්ගේ සමුළුවට (Commonwealth Leaders and CEOs’ Summit) ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය දේශගුණික මුල්‍ය ප්‍රවේශ මධ්‍යස්ථානයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට සූදානම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘති දෙකක් වන “දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධති ව්‍යාපෘතිය” සහ “හරිත හයිඩ්රජන් බලගැන්වූ ශූන්‍ය කාබන් විමෝචන වරාය සැපයුම් ව්‍යාපෘතිය” යන සුවිශේෂී ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එක්වන ලෙසද පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික නායකයන්ට සහ ආයෝජකයින්ට අග්‍රාමාත්‍යතුමිය ආරාධනා කළා ය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය