පාලනය, වගවීම සහ ප්‍රතිපත්ති සම්පාදනය තුළ ඇගයීමේ වැදගත්කම ඉස්මතු වීම ධනාත්මක ප්‍රවණතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2025 මැයි 27 වන දින කොළඹ, මැරියට් කෝට්යාඩ් හෝටලයේදී පැවති ඇගයීම් සම්මේලනය 2025 සහ ඇගයීම් ක්‍රමවේදයේ අනාගතය පිළිබඳ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, පාලනය, වගවීම සහ ප්‍රතිපත්ති සම්පාදනය තුළ ඇගයීමේ වැදගත්කම ඉස්මතු වීම ධනාත්මක ප්‍රවණතාවක් බවද, විවිධත්වයකින් යුත් සහභාගීත්වයක් දැකීම සතුටක් බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙම සමුළුව රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජය සහ තරුණයින් ඇතුළු පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් සඳහා වේදිකාවක් වන පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන ක්‍රියාදාමය අසාර්ථක වූ විට, එහි ප්‍රතිවිපාක මූල්‍යමය වශයෙන් පමණක් නොව, ජීවිත, ජීවනෝපාය සහ අවස්ථාවන් කෙරෙහි ද බලපාන බැවින් සංවර්ධනය සඳහා ඇගයීම් සිදුකිරීම ඉතා වැදගත් වන බව අවධාරණය කළාය.
ප්‍රතිපත්ති සහ වැඩසටහන්වල සම්පූර්ණ චක්‍රය පුරා ඇගයීමට ලක් කිරීමෙන් මුල් අවධියේදීම අවදානම් හඳුනා ගැනීමටත්, ප්‍රගතිය තක්සේරු කිරීමටත්, අවශ්‍ය නිවැරදි කිරීම් සඳහාත් අවස්ථාව සැලසෙන බවද ඇය පැවසුවාය
එසේම,අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, දේශගුණය, මානුෂීය ක්‍රියාකාරකම් වැනි අංශ ඔස්සේ ප්‍රතිඵල ශක්තිමත් කිරීමටත්, ජනතාවට සහ පරිසරයට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමටත් එය පිටිවහලක් වන අතරම, විශ්වසනීය සාක්ෂි හරහා ප්‍රතිපත්තිවල සඵලතාවය අවබෝධ කර ගැනීමට මෙවැනි ඇගයීම උපකාරීවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, එය සාර්ථකත්වයන් පමණක් නොව, විශේෂයෙන්ම සාධාරණත්වය සහ අන්තර්ගතය පිළිබඳ ගැටලු විසඳීමේදී, ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඇති දුර්වලතා පෙන්වා දීමටද හේතු වන බව පැවසුවාය.
ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීම සඳහා, ආයතනික ධාරිතාවන් ගොඩනැගීම, විශ්වසනීය දත්ත සඳහා කාලෝචිත ප්‍රවේශය මෙන්ම සාක්ෂි සහ අඛණ්ඩ ඉගෙනීම අගයන පාලන සංස්කෘතියක් ප්‍රවර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, රජයන්ට තම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල පිළිබඳවත්, අවශ්‍යතා අනුව ලැබීම් සිදුවන්නේද යන්න පරීක්ෂා කිරීමටත් ඇගයීම් ක්‍රමවේද නිසා අවස්ථාවක් නිර්මාණය වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සංසදයේ සභාපති කබීර් හෂීම්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, දකුණු ආසියානු ඇගයීම්කරුවන්ගේ සභාපති ආචාර්ය රාජිබ් නන්දි, බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවේ ස්වාධීන ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අශ්වානි මුතූ, UNFPA ස්වාධීන ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගෝන් යන මහත්වරුන් ඇතුළු තරුණ හා නැගී එන ඇගයීම්කරුවන් ආරාධිතයින් පිරිසක් සහභාගී වුහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය