සියලුදෙනාට ආදරය ආරක්ෂාව ලැබෙන සහකම්පනයෙන් පිරුණු සමාජයක් අපි ගොඩනගනවා... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සෞන්දර්ය දරුවන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ගොඩනගන්නට අපි වගබලා ගන්නවා...

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සහ මාගම් සහෘදයෝ, ගාලු සහෘදයෝ සහ දුරුතු සහෘදයෝ කලා සංගම් එකමුතුවෙන් දකුණු පළාත ආවරණය වන පරිදි පවත්වන ලද දක්ෂිණ පුනරුද කලා උළෙලට සමගාමීව ඔක්තෝබර් 11 වැනි දා හම්බන්තොට වෙරළ උද්‍යානයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් කලා උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

දක්ෂිණ පුනරුද කලා උළෙල, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සහ මාගම් සහෘදයෝ, ගාලු සහෘදයෝ සහ දුරුතු සහෘදයෝ කලා සංගම් එකමුතුවෙන් දකුණු පළාත ආවරණය වන පරිදි පැවැත්වෙන අතර එහි හම්බන්තොට දිස්ත්‍රික් කලා උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරිය සහභාගී විය. මෙම කලා උළෙල ඔක්තෝබර් 10,11දෙදින පුරා සිනමා හා නාට්‍ය දර්ශන, විවිධ ප්‍රදර්ශන කුටි ඇතුළු කලා හා සංස්කෘතිකාංග රැසක් සමඟින් කලාකරුවන් රැසක එකමුතුවෙන් පවත්වනු ලැබිණි.

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍යවරිය පසුගිය මාසයක කාලයක් පුරාවට දක්ෂිණ පුනරුද කලා උළෙලට සමගාමීව දකුණු පළාත ආවරණය වන ලෙස පැවති කලා වැඩසටහන් අගය කිරීමට ලක්කළ අතර දියුණු සංස්කෘතික මිනිසුන් සහ දියුණු සංස්කෘතික සමාජයක් රට තුළ ගොඩනැගීම වෙනුවෙන් මෙවන් අර්ථවත් වැඩසටහන් මහෝපකාරී වන බව ප්‍රකාශ කළා ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"සංවර්ධනය, දියුණුව කියන්නෙ පාරවල්, වරායවල්, ගොඩනැගිලි හදන එකම නෙවෙයි. අපිට ආර්ථික සංවර්ධනය අවශ්‍යයි. හොඳ ආර්ථික අවස්ථා අවශ්‍යයි. නමුත් ඒ සියල්ලම අපි කරන්නෙ අපේ ජීවිත වඩා අර්ථවත් කරන්න. අපේ ජීවිතවලට සතුට එකතුකරන්න. අපේ සමාජය දියුණු තැනකට රැගෙන යන්න. අපට සහකම්පනය දැනෙන්න.ඒ වගේම සමාජය මේ තියෙන තැනින් ඉදිරියට ගෙනවිත් ආරක්ෂිත බවින්, ආදරයෙන් පිරුණු පවුල්, ආදරය රැකවරණය ලැබූණු දරුවන් සිටින සමාජයක් ගොඩනැගීම තමයි අපේ අවසාන අරමුණ. මේ සියල්ලම අපි සිදුකරන්නෙ ඒ වෙනුවෙන්.අපේ සමාජය තුළ සියලුදෙනාට ආරක්ෂාව දැනෙන, සියලුදෙනාට සෙනෙහස ආදරය දැනෙන කවුරුත් කොහෙත්ම තනිවෙලා නැති බව දැනෙන දියුණු සමාජයක් තමයි අපි ගොඩනගන්න උත්සාහ කරන්නෙ." යනුවෙන් ප්‍රකාශ කලා ය.

එමෙන්ම 2026 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සෞන්දර්ය පන්තිකාමරයකට,පොතකට සීමා වූ විෂයක් ලෙස නොව දරුවන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කිරීමට වගබලාගන්නා බවත් සෞන්දර්ය අගයන්නට විඳින්නට හැකි සමාජයක් ගොඩනැගීමට පාසලෙත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කලා ය. එමෙන්ම මෙහි දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලාකරුවන් අගයමින් සම්මාන ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

"පසුගිය කාලය පුරාවට ඔබට පොතක් , නාට්‍යක්, චිත්‍රපටයක් රසවිඳින්නට සුදුසු වටපිටාවක් හිමිවුණේ නෑ. ඔබට ජීවිතය මඟහැරුණා. අපි මේ උත්සහ කරන්නෙ වසර ගණනාවක් අහිමි වු ඒ ජීවිතය ඔබට නැවත උදාකර දෙන්න. අද මේ වේදිකාවේ ඉදිරිපත්කිරීම් සිදුකරන දරුවන් දවසක කලාවේ මහා වනස්පතින් බවට පත්වෙන්න ඕන.අපි ඔබට මැතිවරණ පොරොන්දුවක් වුණා සතියකට දවසක් ඔබේ ගමට කලා අංගයක්, රසවින්දන වැඩසටහනක් ගේන බවට. ඒ උත්සාහය තමයි අපි මේ ගත්තේ. මෙය මෙතනින් නතරවෙන්නෙ නෑ. දැවැන්ත මානව පරිවර්තනයක් වෙනුවෙන් මේ වෑයම ඉදිරියටත් රැගෙන යනවා. ඉතින් ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරූ දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වනවා. "

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිහාල් ගලප්පත්ති මහතා,

හම්බන්තොට දිස්ත්‍රික්කයට අද ඓතිහාසික දවසක්. ’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’ අපේ තේමා පාඨය සාක්ෂාත් කරන්නට සෑම ක්ෂේත්‍රයක් ම සම්බන්ධ කරගත් ඒ දැවැන්ත වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බලපෑමකින් තොර ලෙංගතු භාවයකින් යුතු සාමය, සමගිය, සහකම්පනයෙන් පිරිපුන් සංස්කෘතික මිනිසෙක් මේ මහපොළොවට බිහි කිරීම. අපි ඒ බලාපොරොත්තු වූ වෙනස ඔබේ ජීවිතවලට ලංවෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. 2004 ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් පස්සෙ මේ හම්බන්තොට පුරවරය තනිකරම හිස් භූමියක් බවට පත්වුණා. මේ නගරය ඒ හිස් බවින් මුදවන්න එතෙක් මෙතෙක් මෙහි දෙශපාලන බලය හිමි වෙලා තිබූ දේශපාලන අධිකාරිය මැදිහත් වුණේ නැ. ඒ නිසා අපි කල්පනා කරා හුදෙකලාවෙලා ඉන්න මේ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න මේ කටයුත්ත ආරම්භ කරන්න. අද ඒ ගමනට ශක්තියක් වෙන්න සියලුදෙනා එක්වී සිටිනවා."

මෙම අවස්ථාව සඳහා ගෞරවණීය මහා සංඝරත්නය, කතෝලික පූජකවරුන් සහ මවුලවිතුමන්ලා ඇතුළු සර්ව ආගමික නායකයින් ද පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සාලිය සඳරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ , ඉන්දියානු කන්සිලර් ජෙනරාල් හර්වින්ද සිං, දකුණු පලාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුනිල් අලහකෝන්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A ධර්මසිරි යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය