“ඇග්‍රිකනෙක්ට් ශ්‍රී ලංකා” සැලසුම මෙරට කෘෂිආහාර ක්ෂේත්‍රය වඩාත් ඵලදායී, විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් තරගකාරී ආර්ථිකයක මාර්ගයක් බවට පරිවර්තනය කළ යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ සැලැස්ම (Sri Lanka AgriConnect Joint Implementation Plan) එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 30 වන දින කොළඹදී සහභාගී වූවාය.

ලෝක බැංකු සමූහයේ (World Bank Group) වැඩසටහනක් වන ඇග්‍රිකනෙක්ට් (AgriConnect) ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය, ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදල (IFAD) අතර හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. සුළු පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණුයියි.

මෙහිදී ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම නිල වශයෙන් එළිදක්වන ලද අතර එම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ නියෝජිතයෝ සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අනාගතය ජාතික ආර්ථිකය සමඟ සමීපව බැඳී පවතින බව සඳහන් කළාය.ආර්ථිකය ගොඩනැගීම සහ දිගුකාලීන සංවර්ධනය සහතික කිරීම සඳහා ගොවි ජනතාවට සහාය වීම, ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ප්‍රජාවන් තුළ අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය.

ඇග්‍රිකනෙක්ට් ශ්‍රී ලංකා වැඩසටහන මෙරට කෘෂිආහාර ක්ෂේත්‍රය වඩාත් ඵලදායී, විපර්යාසයන්ට ඔරොත්තු දෙන තරගකාරී ආර්ථිකයක මාර්ගයක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් බව ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජය, සංවර්ධන හවුල්කරුවන්, පෞද්ගලික අංශය සහ ගොවි ප්‍රජාවන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

2027–2031 සඳහා වන රාජ්‍ය ආයෝජන වැඩසටහන (Public Investment Programme) පිළිබඳව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, වසර පහක කාලයක් ඇතුළත රාජ්‍ය ආයෝජන සඳහා ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 17.5ක් වෙන් කර ඇති බවත්, ඉන් රුපියල් ට්‍රිලියන 8.3ක පමණ මුදලක් නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක් කරා සිදුකරන පරිවර්තනයට සහාය වීම සඳහා වෙන් කර ඇති බවත් සඳහන් කළාය.

මෙම ආයෝජන මඟින් කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කෙරෙන බව අවධාරණය කළාය. එමෙන්ම ඵලදායිතාව ඉහළ නැංවීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ රට පුරා ගුණාත්මක රැකියා අවස්ථා උත්පාදනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද මෙම ආයෝජනවල අරමුණක් බව තවදුරටත් පෙන්වා දුන්නාය.

තාක්ෂණය, නවෝත්පාදනය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඔස්සේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වඩාත් ශක්තිමත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ගොඩනැගීමටත්, ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය තහවුරු කිරීමටත් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා; වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා; අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා; අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා; ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආසියා සහ පැසිෆික් කලාපීය උප සභාපති සර්වේෂ් සූරි මහතා; ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෂෙරිනා තබස්සුම් මහත්මිය ඇතුළු ලෝක බැංකු සමූහයේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කාර ආයතනවල නියෝජිතයෝ සහභාගී වූහ. මීට අමතරව පෞද්ගලික අංශය, ගොවි සංවිධාන, ධීවර හා පශු සම්පත් ප්‍රජාවන්, වැවිලි ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, නිෂ්පාදකයන් සහ සිසුහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය