භේදයකින් තොරව සියලුම දරුවන්ට නව ලෝකයේ අවස්ථා විවර කර දීම රජයේ අවශ්‍යතාවයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භේදයකින් තොරව සියලුම දරුවන්ට නව ලෝකයේ තිබෙන අවස්ථා විවර කර දෙමින්, ඔවුන්ගේ සිහින කරා විශ්වාසදායී ලෙස හඹායාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීම රජයේ අවශ්‍යතාව බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අද (18) දින සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුරදී කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ 2025 වර්ෂය සඳහා වූ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී 2025 වසර තුළදී විෂය සහ ශ්‍රේණි මට්ටමින් දක්ෂතා පෙන්වූ සිසු සිසුවියන්හට ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එමෙන් ම “ආදර්ශ ප්‍රභා” නමින් කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයීය නිල පුවත්පත එළිදැක්වීම ද මෙහිදී සිදු වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද කියා සිටියා ය.

“මේ වගේ පාසල්වලට ආවම, මේ වගේ දරුවන්, ගුරුභවතුන් හම්බුනාම තමයි අපිව දිරිගැන්වෙන්නේ රටේ අධ්‍යාපනය ඉහළින්ම ඔසවා තැබිය යුතුයි යන අධිෂ්ඨානය කෙසේ හෝ සාක්ෂාත් කරගත යුතුයි කියලා. අපට අවශ්‍ය වෙන්නේ දරුවන්ගේ මූණුවල සතුට රැඳෙන, ආදරය සහ රැකවරණයෙන් පිරි පාසල් දකින්නයි.

රටක් හැටියට අපට අභියෝග ගණනාවක් තියෙනවා. කාලයක් තිස්සේ අපේ රටේ ආර්ථිකයට සිදුවුණු කඩාවැටීම දැන් තමයි අපි යථා තත්ත්වයට පත් කරමින් යන්නෙ.ගෝලීය සහ කාලගුණික වශයෙන් සිදුවන සිදුවීම් ද රටක් ලෙස අපට බලපානවා. අපට ඒවා ජයග්‍රහණය කරගත හැකි වන්නේ අපි ඔක්කොම එකාවන්ව සමූහිකත්වයෙන් වැඩකළොත් විතරයි.”

“අපි අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් තමයි සියලුම සැලසුම් කරගෙන යන්නේ. එය විෂයමාලා සංවර්ධනය විතරක් නොව, අධ්‍යාපනය තුළ මානව සම්පත්, යටිතල පහසුකම් දියුණු කිරීම වැනි දරුවන්ට අවශ්‍ය ඒ අලුත් ලෝකය සඳහා මග විවර කර දෙන පුළුල් පරාසයක් තුළ විහිදුණු ක්‍රියාවලියක්. භේදයකින් තොරව සියලුම දරුවන්ට නව ලෝකයේ අවස්ථා විවෘතයි කියන හැඟීම සහ ඔවුන්ට ඔවුන්ගේ සිහින කරා හඹායාමට අවශ්‍ය විශ්වාසය අප ඇතිකරන්න අවශ්‍යයි.”

“එසේම ඉදිරියටත් අප අධ්‍යාපනයේ නව වෙනස්කම් රාශියක් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන කටයුතු පහසු කිරීමට ඩිජිටල්කරණය, නව විෂයන් වැනි දෑ හඳුන්වාදීමට කටයුතු කරනවා. එමෙන්ම ගුරු පුහුණු ක්‍රියාවලිය වඩාත් ශක්තිමත්ව සිදුකිරීමෙන් සිසුන්ට ගුණදායී අධ්‍යාපන අවස්ථා උදාකර දීමට අප බලාපොරොත්තු වෙනවා.”

අනතුරුව අග්‍රාමාත්‍යවරිය කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එමෙන් ම මහව රිදීබැඳිඇල්ල ගජනැග්ගම මහා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරිය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමග සුහද සාකච්ඡාවක නිරත විය. ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා දුෂ්කරතා මධ්‍යයේ ඇප කැප වන ගුරු මණ්ඩලයට මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සිය ආචාරය හා ප්‍රසාදය පළ කළාය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා හේරත්, කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති එම්.ඒ.විමලසිරි, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර,වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් චන්දන වන්නිනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය