ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් මේ රටේ ජනතාව අවස්ථාවක් නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කළපලුවාව, පොතුඅරාව, අකුරේගොඩ සහ බොරළුගොඩ යන ප්‍රදේශ වල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අපි මාස හයක් ඇතුළත තුන්වෙනි වරටත් මැතිවරණයකට මුහුණ දෙනවා. ඡන්දය දාන්න සූදානම් වෙමින් ඉන්නවා. තව දවස් හයයි ඉතුරු වෙලා තියෙන්නේ.
රජයේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පද්ධතිය හදාගෙන යන ගමනේ ගමේ නායකත්වයත් ගමට සුදුසු ව්‍යුහය හදාගන්න අපිට ලැබෙන අවස්ථාවක් මේක.
ඔබ මේ රට භාර දෙනකොට රටේ තිබුණු තත්ත්වය ගැන ඔබට හොඳින් අවබෝධයක් තියෙනවා. ඒක ආර්ථික කඩාවැටීමකටත් එහා ගිය ආයතනික මට්ටමේ කඩාවැටීමක්.
රටක් පවත්වාගෙන යන්න රටක පාලනය හරියට සිද්ධ වෙන්න ඒ විවිධ ආයතන තුළ පද්ධතීන් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ තැන්වල සුදුසු අය ඉන්න ඕනේ.
ප්‍රාදේශීය සභා කියන්නේ ඔබේ ජීවිතයට ඉතාමත්ම සමීපතම ආයතනයක්. ඔබේ එදිනෙදා කටයුතු කිරීමේදී තිබුණු තත්ත්වය ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනවා.
2024 ඔබ පරාජය කරපු ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය, නාස්තිකාර දේශපාලන සංස්කෘතිය ආරක්ෂා කරගන්න සාම්ප්‍රදායික පක්ෂවලට ඉදිරිපත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා ඒ නිසා ස්වාධීන කණ්ඩායම් හැටියට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා.
හැබැයි අර පරණ මූණුමයි. ඒක අලුත් ලේබල් දාපු අලුත් බෝතලේට පරණ වයින් දානවා වගේ වැඩක්. මොකක් හරි නමකින් අලුත් ලාංඡනයකින් දැන් ඔවුන් එන්න හදනවා.
ඔය දඟලන්නේ මොකටද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ පක්ෂවලට අනාගතයක් නැති වෙමින් යන්නේ, පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් දැන් විපක්ෂයට මතුවෙලා. ඒ නිසා විපක්ෂයේ සියලුදෙනා එකමතික ගිවිසුමකට එන්න හදනවා මාලිමාව පරාජය කරන්න.
ජනතාව ඒ දූෂිත දේශපාලන කඳවුර ප්‍රතික්ෂේප කළා කියලා විපක්ෂයට තාම තේරිලා නැහැ. ඒ නිසයි පිල්ලෙයාන් වැනි අය ජාතික වීරයන් බවට පත් කරන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. තාමත් විපක්ෂය පාඩම ඉගෙන ගෙන නැත්නම් හයවෙනිදා පාඩමක් උගන්වන්න වෙනවා.
අපිට විපක්ෂයකුත් අවශ්‍යයි විපක්ෂයත් හදන්න නම් හොඳ පාඩමක් කියලා දීලා බලන්න එතකොට වත් තේරුම් ගනී ඒ ක්‍රමයෙන් නෙවෙයි විපක්ෂයට දිනන්න පුළුවන් කියලා.
මොන ස්වාධීන කණ්ඩායම හදාගෙන ආවත්, ඔවුන්ගේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් මේ රටේ ජනතාව අවස්ථාවක් නොදෙන බව අපිට විශ්වාසයි.
2024 ඔබ අපට බාර දුන්න වගකීම, ඔබත් අපත් අතර ඇති වුණ සමාජ සම්මුතිය තව එක් පියවරක් ඉදිරියට ගෙනියන්න තමයි අපේ මේ සහෝදර සහෝදරියන් ඉදිරිපත් වෙලා තියෙන්නේ .
සමාජයේ අවශ්‍ය හැමතැනම ජනතාව පුරවැසියන් හැටියට මැදිහත් වෙන්න පටන් අරගෙන. අඩුපාඩු තියනවා, වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා, නමුත් මෙතන වැදගත්ම දේ බහුතරයකගේ අරමුණ මේ රට හදාගන්න ඕන, මේ රට දියුණු කරන්න ඕන කියන එකයි.
ඒ වෙනුවෙන් කැපවීම් කරද්දි පුද්ගලිකව අපට යම්කිසි අවාසියක්, අතහැරීමක් කරන්න වුනත් සිද්ධ වුණත් පොදු අපේක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙන්න සූදානම්.
පාසැල් වලට ළමුන් ඇතුලත් කරද්දි රජයේ සේවය නිසා ස්ථාන මාරුවක් ලැබුණ, එහෙම නැත්නම් පිටරට ගිහිල්ලා ආවම වගේ විශේෂ අවස්ථාවක දරුවා පැසලකට ඇතුලත් කරන්න ඇමතිවරයාට හරි ලේකම්ට හරි බලය තිබුණා දරුවාව පාසලට ඇතුලත් කරන්න ලියුමක් නිකුත් කරන්න. ඒ අවස්ථාව පාවිච්චි කරලා ජනප්‍රිය කියන පාසල් වලට දරුවන් දැම්මා. 45 ඉන්න ඕන පන්තිවල පනහ, පනස් පහ, හැට දාලා තියෙනවා.
එහෙම අපිට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කරන්න පුළුවන්ද? පන්ති කාමරයක පනහක් තියාගෙන ගුරුවරයෙක් කොහොමද උගන්වන්නේ. ඒ නිසා අපි තීරණය කළා මොන තත්ත්වයක් තුළ හෝ පුරප්පාඩු නැත්නම්, පුරප්පාඩු වලට එහා යන්න අමාත්‍යාංශයේ නිර්දේශ දෙන්න ඇමතිවත්, ලේකම්වත් ලියුම් ගහන්නේ නෑ.
අක්‍රමිකතා නිවැරදි කරගෙන සියලුදෙනාට සාධාරණය ඉෂ්ඨ කරන්න රජයක් ලෙස කටයුතු කරනවා. ක්‍රමයක් නැති නිසා සමහරු එතනින් ගිහින් අක්‍රමිකතා සිදු කළා. ඔවුන්ට නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ නිසා ඒ තුළින් වාසි ලබා ගත්තා.
පැවති අක්‍රමිකතා නතර කරමින් මේ ව්‍යුහය ක්‍රමවේදයකට ගේන්න යම් කාලයක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රි කෞෂල්‍යා ආරියරත්න, අසිත නිරෝෂණ, කඩුවෙල නගර සභා අපේක්ෂක රංජන් ජයලාල් ඇතුළු අපේක්ෂකයින්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය